සසර කතරින් පුදදුන් මිනිසා සතර කර වීමේ දැවැන්තම කාර්ය භාරය වර්තමානයේ හිමි වූයේ නික්ලේෂි වූ මහා බුදු පියාණන් වන ගෞතම බුදු හිමියන් වහන්සේටය. පෙනෙන ලොව තුළ පවතින ක‍්‍රියාදාමයන් අවබෝධ කර පැහැදිලි කරවට වඩා, අපහසු බවක් නොපෙනෙන ලොව තුළ පවතින ක‍්‍රියාදාමයන් අවබෝධ කර පැහැදිලි කිරීම අමුතුවෙන් සටහන් කිරීමට අවශ්‍ය නැත. සසර කතර ගමන් ඇරඹුවේ ඔබේ සිතයි. දුකින් දුකට අගාධයෙන් අගාධයට වැටෙමින් මේ යන්නාවූ සසර ගමන ඔබ නිතර සිතනුයේ ඔබට සම්පත් තිබෙන විට සතුට තිබෙන විට මේ පවතින ස්වභාවය කෙතරම් හොඳය වශයෙනි. නමුත් මතුපිටින් බලා සසර කතරේ පවතින ඇති භයංකාර වූත් බිහිසුණු වූත් ගමන ඔබට නොපෙනෙනවා ඇත. ඔබට එසේ වනුයේ ඔබට ගොඩක් දුර නොපෙනෙන බැවිණි. ඔබ නිතර ළඟ ගැන සිතමින් පවතින ස්වභාවය අගය කිරීමේ ප‍්‍රතිඵලය නිසා මේ තත්වය ඔබට කිසි විටෙකත් අවබෝධ නොවනවා ඇත.
එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේ කෙනෙකුගෙන් තරුණයකු ඇසූ ප‍්‍රශ්නයකදී මෙසේ සඳහන් විය. හාමුදුරුවන් නිවන කියන්නේ කුමක්ද කියලා ඇසූ විට උපදින එක නතර කිරීමක් වශයෙන් කෙටියෙන් පිළිතුරු සපයා ඇත. මේ තරුණයා හාමුදුරුවන් වහන්සේට කියා සිට ඇත්තේ අපි කෙතරම් හොඳට කාලා බීලා විනෝදයෙන් සිටිනවාද අපි සංතෝෂයෙන් සිටිනවා හාමුදුරුවනේ නිවන් දකිනවා කියන්නේ ඕකනම් අපි බුදුහාමුදුරුවන් දේශනා කළ මේ කිසිවක් අපට අවශ්‍ය නැති බව ඔහු පවසා ඇත. මේ ජීවිතය කොච්චර හොඳද. උපදින එක නතර කිරීමට මේ සියල්ල අහිමි කර ගැනීමක් බව පවසා ඇත.
මෙයින් යමක් මතුකර අපගේ සිත් සතන් තුළට ගත යුතුව තිබෙන බව බෞද්ධ අපි සිතට ගත යුතුව ඇත. බෞද්ධ සිතින් අවධි වීම කාලය උදාවී ඇත. බුදුපියාණන් සිටි කාලයේදී එකල දැල්වූ පහනේ ආලෝකය හොඳින් එකල සිටි ජනයාට හොඳින් දැනුණි. නමුත් වර්තමානයේ එම ආලෝකයේ රස්නය ආලෝකය දැනෙනුයේ අල්ප වශයෙනි. මෙහිදි මතුකර දැකිවීම වියයුත්තේ බුදුපියා සිටින කාලයේ ඉතා කෙටියෙන් ධර්මය දෙසුවත් නිවනේ ස්වරූපය අවබෝධ කර ගැනීමට හැකි ශක්තියක් සිටි බවයි. එකල පහන් ආලෝකය ප‍්‍රබලය. ඒ නිසා රහතන් වහන්සේලාගෙන් අඩුවක් එකල නොවීය. නමුත් වර්තමානයේ මේ ගතවන්නේ 2800 ක් ඉක්ම යන කාලවකවානුවකය. මෙවැනි ප‍්‍රකාශ මේ කාලයේ ඇසීම අරුම පුදුම වීමට අවශ්‍ය නැත. පහන් ආලෝකයේ රස්නය ආලෝක තත්වය අඩුවෙමින් පවතී. රහතුන් වහන්සේලා වර්තමානයේ නැත. නමුත් තවමත් අකාලික ධර්මයක් ඇත. මනුෂ්‍යයන් මේ මනුලොවේ ඉපදීම සිදුවේ. කායික ලක්ෂණ වල කිසිදු වෙනසක් දැකිය නොහැක. මේ විපර්යාසයට මූලික වී ඇත්තේ ආධ්‍යාත්මිකව පවතින තත්වය අවබෝධ කරගැනීමට තරම් මානසික ශක්තියක් නැති බවත් ඒ ශක්තිය මිනිසාගෙන් ශීඝ‍්‍රයෙන් එය ඉවත් වී යන බවකි.
කෙසේ වුවත් අකාලික ධර්මය තුළ මිනිසාගේ සිත් සතන් නිවරදිව යොදා ගන්නේ නම් අද පවා රහතුන්ගෙන් මේ වර්තමානය හිස් නොවනවා ඇත. අද පවා ධර්මය අවබෝධ කර නිවන් දැකීමට ධර්මය ජීවමාන ශක්තියක් පවතී. ඒ ගැන අපගේ අවධානය යොමු කිරීමට වැදගත් බව තරයේ සිතට ගත යුතුව ඇත.
මිනිසාත් බවය දුර්වලව අප තවදුරටත් දැන ගැනීමට වැදගත්ය. එය විස්තර කිරීමට බලාපොරොත්තු නොවෙමි. සසර කතර ඇති බියකරු බව කටුක බව තුළ සුන්දර මාවතක් නොමැත. දැන් සිටින තැන සුන්දරව පෙනුනත් ඔබට දුර නොපෙනෙන නිසා සැපයක් වශයෙන් දැකිය හැකිය. මින්පසු ඔබ කරන කියා දමන මේ කතරේ කොතනට යෑමට සිදුවේද යන්න ඔබවත් මාවත් නොදනී. මේ පිළිබඳ අවධානය යොමු කර මේ සසර කතර හෙලි කිරීමට ඔබට ලැබුනු අවස්ථාවෙන් හෙලි පෙහෙලි කර සසර කතර සුන්දර මාවතක් කර ගැනීමට අද සිටම නොපමාව කටයුතු කරනවා නම් මේ ලිපියෙන් බලාපොරොත්තු වන අරමුණු ඉටුවූවා යැයි හුදෙක් සතුටු විය හැකිය.
ඔබේ අනවබෝධයෙන් ඔබට මුදවන්නට සමතෙකු මිහිපිට නැවත පහළ වනවාට සැක සහිතය. බුදුපියා ජීවමානව නැත. නමුත් ගුරුවරු ලෙස සැලකූ ධර්මය අප සතුව ඇත. බුදුපියා මුවින් දේශනා නොකළත් ධර්මයේ සජීවි බවක් ඇත. ධර්මය දැකීම බුදුහිමි මනාව දැකීම වශයෙන් උන්වහන්සේ පෙන්වා දී ඇත. සිත අවදිකර ගැනීමට හා අවබෝධයක් වර්තමානයට මුහුණ දීමට සිදුවී ඇති කාලයක් වශයෙනුත් මේ ගතවන්නේ අනාගාමී පරිසරයක් බව තේරුම් ගත යුතුව ඇත. බුදුහිමි දැල්වූ පහන් ආලෝකය එකසේ විහිදුනත් පුද්ගලයන්ට දැනෙනා ප‍්‍රමාණ ගණන සමරු පහන් වල වෙනසක් ඇත. ඒ නිසා නිවන් දැකීම පිළිබඳ සත්‍ය ධර්මය අවබෝධ පිළිබඳ දැනෙන ප‍්‍රමාණය වෙනස් වී ඇත. මේ ලිපියෙන් මා ඔබගේ අවබෝධයේ ස්වභාවය නැවත අධ්‍යාත්මික විද්‍යා සංකල්පය තුළ අවබෝධාත්මකව පුබුදු කිරීමට මේ තරම් උත්සාහයක් ගැනීමට මාගේ අවධානය යොමු කරමි.
බුදුහිමි මාවතක් පෙන්වා දී ඇත. ඒ මාවතේ සුන්දර බව සුන්දර ලෙස දැකීමට මා මෙසේ ලිපියට කරුණු ගොනු කරමි. එක් දිනක් ධර්ම සාකච්ඡුාවකදී එක් උපාසිකාවකගෙන් මෙසේ ප‍්‍රශ්නයක් ඇසීය. ඔබ සිල් ගන්නේ ඇයි. ගමේ අනෙක් අය සිල් ගන්නවනේ. මේක අප් පන්සලනේ. ඒ නිසා කියා ප‍්‍රකාශ කරන ලදී. මේ කියමන ගැන අවධානය යොමුකර බැලීමේ දී අපි අපේ ආගම තුළ අපි කොතන සිටිනවාද යන්න සිතා ගතහැකිය. ඊළඟ ප‍්‍රශ්නය වූයේ ඔබ බුදුහිමි හඳුනාගෙන ඇත්තේ කවුරු කෙනෙක් වශයෙන් ඔබ තේරුම් අරගෙන සිටිනවාද ඇසූවිට කිසිවක් ප‍්‍රකාශ කර ගැනීමට පවා නිරුත්තර වන සමාජයක අපි ජීවත්වන බවක් මාහට දැනුනි. කෙසේ වුවත් අපටද අවදි විය යුතු කාලය උදාවී ඇති බව මාහට පසක් විය.
බුදුහිමි පෙන්වා දුන් මාවත වර්තමානයේ පවතින උදාහරණ වලින් මා ඔබේ සිත් සතන් තුළම ප‍්‍රවේශ කිරීමට උත්සාහ දරමි. නිවන් මගෙහි ප‍්‍රධාන අවස්ථා තුනක් දැකිය හැකිය. එය සීල, සමාධි, ප‍්‍රඥා ලෙස පෙන්වා දිය හැකිය. සීලය යනු අපේ ජීවිත කියලා කියන්නේ නිරවුල් ඔප්පු සහිත ඉඩමක් වශයෙන් සිතුවහොත් මේ නිරවුල් ඉඩමේ නිත්‍ය අයිතිකරු ඔබය. මෙයද සිතිය යුතුය. ඔබ එහි සදාකාලික අයිතකරුද නොවන බවද කෙසේ වුවත් ඔබට ලැබුනු නිරවුල් ඉඩම ඔබ ආරක්ෂා කරගත යුතුය. එක් එක් අයට පවතිනුයේ විශාලත්වයෙන් වෙනස් වූ ඉඩමක් නොවනබව සිතිය යුතුය. හැමෝටම ඇත්තේ එකහා සමාන වූ ඉඩමකි. මේ ඉඩම ආරක්ෂාකර ගැනීම ඔබ සතු යුතුකමකි. මේ සඳහා වැටක් හෝ තාප්පයක් වැනි දෙයකින් ඔබ මෙය ආරක්ෂා කළ යුතුය. ඒ සඳහා ඔබ තාප්පයක් ඉදිකරනවාද වැටක් ඉදිකරනවාද යන්න ඔබ තීරණය කළ යුතුය. සීලය යනු කය, වචනය යන දෙකේ සංවරය නම් කාය සංවරය නැමැති ඉණි සිටුවා වචනය නැමැති ලී වලින් ඔබ සවිමත් වැටක් ඉදිකර ගත යුතුව ඇත.
මේ සඳහා ඔබ ඉදිකරන වැට පන්සිල් වලින් ගහනවාද, අටසිල් වලින් ගහනවාද, දසසිල් වලින් ගහනවාද, කෝටියක් සංවර සීලයෙන් ගහනවාද යන්න ඔබ තීරණය කළ යුතුය. පන්සිල් වලින් ගහන වැට කුරුඳු කෝටු වැටවල් හැමදාම සකස් කළ යුතුය. කුරුඳු කෝටු එක පැත්තකින් ඉඩම වටේ සිටවා එනවිට සිටවපු කුරුඳු කෝටු දිරා ඇත. ඒ නිසා දිනපතාම කුරුඳු කෝටු සිටුවීමට සිදුව ඇත. ඒ නිසා සෑම දවසකම හොඳ දෙයක් කරන හැම වෙලාවේදීම ඉඩම ආරක්ෂා කර වැට සකස් කිරීමට සිදුවී ඇත. ඒ නිසා භික්ෂූන් වහන්සේලා පන්සිල් සමාදන් කරවමින් පාසල් වල උදේ පන්සිල් ගැනීමක් දැකිය හැකිය. අනෙකුත් සතුන්ගෙන් සිදුවන උපද්‍රව වලින් ආරක්ෂා කර ගැනීමට මෙය සිතිය යුතුය.
පන්සිල් වලින් හැමදාම ඉඩම ආරක්ෂා කරනවාට වඩා අටසිල් නැමැති සවිමත් කොන්ක‍්‍රීට් කණු සහිත වැටක් සකස් කිරීම ලෙස පෙන්වා දිය හැක. පෝයට ඔබ සිදුකරනුයේ ඉඩම වටේ කොන්ක‍්‍රීට් කණු සිටුවීමක් බව සිතිය යුතුය.
තවද භික්ෂූන් වහන්සේලා උපසම්පදා සීලය සමාදන් වනවා කියන්නේ ජීවිතය නැමිති ඉඩම වටේ කොන්ක‍්‍රීට් තාප්පයක් ඉදිකිරීක් ලෙස පෙන්වා දිය හැක. කොන්ක‍්‍රීට් තාප්පය දුටු විගස ඇත්තු පවා දණගැසීම සිදු කරයි. රජවරු, සිටුවරු පවා දණගැසීම දැකිය හැකිය. කුරුඳු කෝටු වැටවල් කඩාගෙන යෑමට ඕනෑම සතෙකුට හැකියාව ඇත.
ඉහත පැහැදිලි කිරීමට අනුව ඔබ ජීවිතකාලය තුළ කුරුඳු කෝටු වැටවල් ගමනවාද ස්ථීර සාර කොන්ක‍්‍රීට් තාප්පයක් වගේ තාප්පයක් සකස් කරනවාද එසේත් නැතිනම් පෝය දිනක කුරුඳු කෝටු වැටට කොන්ක‍්‍රීට් කණු ටිකක් සිටවනවාද යන්න සිතිය යුතු කාලය එළඹ ඇත.
ජීවිතය නැමැති ඉඩම වටේ ගහන වැට සවිමත් වන තරමටම ඔබට පැමිණෙන බාහිර බලපෑම් අඩුය. සුවසේ කාලය ගත කරන්නට හැකිය. නිවීම ඒ තුළ පෙන්වා දී ඇති අයුරු කොතරම් අපූරුද, නිවනේ පළමු පියවර තුළම නිවන් සැපත ඔබට පසක් කර ගැනීමට හැකි වේවායි පතමි. ඔබ සීලයෙන් සවිමත් නම් කිසිවෙකුගෙන් ඔබගේ ජීවිතයට බාධා නැත. නිරවුල් මනසින් යුතුව බියෙන් සැකයෙන් තොර ජීවිතයකට මංපෙත් විවර වේ. ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු විය යුතු කාලය එළඹ ඇත.
බෞද්ධ සමහරු සීල නැමැති වැට ගසාගෙන නිකරුනේ සිටීමෙන්ද අවශ්‍ය ලෝකෝත්තර සැපයට යා නොහැකිය. ඒ නිසා ඉඩම සකස් කර ගැනීමද වැදගත්ය. ඒ සඳහා ඉඩමේ තිබෙන ගල් අනවශ්‍ය ගස් ඉවත්කර ඉඩම පිරිසිදු කළ යුතුය. ඉඩම වටේ සවිමත් වැටක් නැතුව කොතරම් ඉඩම පිරිසිදු කළත් පලක් නැත. ඒ නිසා සීලය නැමැති වැට ගැසීමෙන් පසු ඊළඟ පියවර සමාධිය නැමැති පොළොව සකස් කිරීමයි. එයද නිවන් මගෙහි සිදුකළ යුතු වැදගත්ම දෙයකි. ඒ නිසා සමාධිය නැමැති පොළොව සකස් කළ යුතුය. සමහර බෞද්ධයෝ අටසිල් පොහොය දින සමාදන් වී පොළොව පිළිවෙළකට සකස් නොකර කාලය ගත කරයි. කොන්ක‍්‍රීට් වලින් තාප්පය ඉදිකර බණ භාවනාවක්වත් නොකර සමාධිය නැමැති පොළොව සකස් නොකරන පිරිසක් අප අතර ඇත. සිතීමට කාලය ඇත. අපහසුවෙන් තාප්පය ඉදිකරගෙන සිටියට වැඩක් හෝ ඵලයක් නැත. ඉඩමෙන් ප‍්‍රයෝජනයක් ගැනීමට හැකිවන අයුරින් නිරවුල් ඉඩම සකස් කර ගැනීමට තම තම නැණ පමණින්, සිදු කිරීමට කාලය උදාවී ඇත.
සමහර බෞද්ධයන් තමන්ගේ වැට සවිමත් නැති වුනත් භූමිය සකස් නොකරත් අනුන්ගේ වැටවල් සවිමත් කිරීමටත් භූමිය සකස් කරන අයුරු පිළිබඳ උපදෙස් සපයයි. බුදුහිමි පෙන්වා දුන්නේ පරාර්ථයට පෙර ආත්මාර්ථය තුළින් සමාජයට ප‍්‍රවේශ වන ලෙසය. එයින් අදහස් කරනුයේ කෙනෙකු අපහසුවකට පත් නොකර තමා විසින් සමව තම දෙපයින් නැගිටි කෙනෙකු බවට පත්වන ලෙසය. කෙසේ වුවත් සමාධිය නැමැති භූමිය පිරිසිදු කර ගැනීම තුළින් නිවන අවබෝධ කරගත හැකි අවස්ථාව උදාවේ. සීලයෙන් ලද නිවීම තීව‍්‍රර කර ගැනීම සමාධිය තුළින් සවිබල ගැන්විය හැකිය. ඉඩමක් නිකරුණේ වල් බිහි වන්නට ඉඩදී බලාගෙන සිටීම සිදුවිය නොවිය යුත්තකි. එයින් ප‍්‍රයෝජනයක් ගත යුතුය. මෙසේ විමර්ෂණය කළ හැක්කේ මනුෂ්‍යයන්ට පමණි. මනුෂ්‍ය සිත් සතන් ධර්මයේ ආලෝකයෙන් ආලෝකයට යා යුතු කාලය එළඹ ඇත.
සීලය නැමැති වැට ඉදිකර සමාධිය නැමැති පොළොව සකස් කර ප‍්‍රඥාව නැමැති බීජයන් පැළ කළ යුතුය. ප‍්‍රඥා බීජයන් තුළින් නිවන දැකිය හැක. ජීවිතයේ නියම ඵලය උදාකර ගැනීම යනු ප‍්‍රඥාව නැමැති බීජයන් වැපිරීමය. එය නිවනයි.
අද සමාජය තුළ සීලය පිළිබඳ හරි වැටහීමක් නැත. නිවන් මගේ පළමු පියවර අනවබෝධයෙන් යුතුව මුහුණ දේ. මෙය නිවැරදි වුවහොත් බොහෝ දුර මනුෂ්‍යයාට යා හැකි වනු ඇත.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය එකම මාර්ගය බව සඳහන් කර ඇත. නිවන් දකිනු කැමති පුද්ගලයා මේ මාර්ගය අනිවාර්යයෙන් යා යුතුය. එහි සීලය සමාධිය ප‍්‍රඥාව මැනවින් විද්‍යමාන වේ.
බුදු දහමේ ආධ්‍යාත්මික ස්වරූපයක් ඇත. භෞතික වූ ශරීරයවත් ඉඩකඩක් ගැනවත් වර්ණනා නොකරයි. සිත නැමැති ඉඩමේ ක්ලේෂයන්ගෙන් වැසීගත් කිසිවෙකුටත් ප‍්‍රයෝජනයක් නොමැති වුවත් අඳුරු ප‍්‍රදේශයකින් තොර කවුරුත් ප‍්‍රයෝජනයක් ගන්නාවූ සුන්දර පාරාදීසයක් බඳු වූ සිතක් ඔබ සතු කර ගැනීම පිළිබඳ සියලූ සවිබල ගැන්වීම් ධර්මයේ පියවරෙන් පියවර අප සතු කර ඇත.
ජීවිත අවබෝධය හැකිනම් ඔබේ ඉඩමේ ස්වරූපය මතුකර පෙන්වා දීම ඉතා වටිනා බවක් ඇති බැවින් ලිපිය මෙසේ සාරවත් කිරීමට සිතුණි.
ජීවිතය යනු කුමක්දැයි යන්න අවබෝධ කිරීම සඳහා ඔබ විසින් ඔබට මුහුණ දීමට සිදුවන හා මුණගැහෙන අභියෝග පිළිබඳ පුළුල් විමර්ශනයක යෙදිය යුතුය. ජීවිතය කැටයකට උපමා කළොත් එම කැටයට වටිනාකමෙන් වැඩි මුදලක් දැමිය හැකිය. සමාජ සම්මතයෙන් බැහැර වටිනාකමින් අඩු ක‍්‍රියාවන් හා සිතිවිලි ශත 25 ට ශත 50 ට උපමා කළ හැකිය. සමාජයේ පවතින සාරධර්ම හොඳ දේවල් රු.10 කාසි වල උපමා කළොත් ඔබ ඔබේ ජීවිතය නැමැති කැටයට ඔබ වර්තමානයේ දමන්නේ කුමන මුදල්ද යන්න සිතිය යුතුය. ශත 25 කාසිය මතක තබා ගත යුතු කරුණක්නම් කවදා හරි කැටයෙන් නැවත මුදල් ගැනීමට ඔබට සිදුවේ. ශත 25 මුදල දැමීමෙන් ගන්න වෙන්නෙත් ශත 25 ඒවාමයි. ඒ නිසා ඔබ වඩාත් අනාගතයේ ගන්න කැමති මුදල් ඔබ වර්තමානයේ ඔබේ ජීවිතය නැමැති කැටයට දැමිය යුතුයි.
කිසියම් කෙනෙකු ඔබගෙන් මුදලක් ඉල්ලා සිටියහොත් ඔබ ශත 25 ඒවා දමා ඇත්නම් ඔබට බොහෝ වේලා ගනන් කිරීමට සිදුවේ. ඒ අනුව ඔබ දුර්වලයෙකු බව ප‍්‍රඥාවන්ත සමාජය තුළ විද්‍යමාන වේ. ඒ නිසා නොපමාව උසස් දේවල් කරන්න. බුදුහිමි දෙසුව මගේ යන්න. එවිට ඔබ ජීවිතය නැමැති කැටයට වටිනාකමින් වැඩි මුදල් දමා ඔබ ජයග‍්‍රහණය කළ වටිනා පුද්ගලයකු වීමට උත්සාහ ගත යුතුය.
තවද ජීවිතය වාහනයක් නම් ඒ වාහනය ඔබ සතුනම් ඔබ ඉතා ඕනෑකමින් ධාවනය කළ යුතුය. එය ඔබගේ බැවින් ඔබ මොහොතකට සිතා බලන්න ඔබේ වාහනයට ඔබ කොතරම් පීඩාවක් දෙනවාද යන්න. පාරේ වංගුවක්නම්, පාර කඩොලූ සහගත නම්, ජලය පිරුණු වලවල් නම් ඔබ වාහනය ධාවනය කළ යුත්තේ ඉතාමත් අවබෝධයෙනි. බුදුහිමි වැඩසිටි කාලයේ අප ජීවත් නොවන බවත් මේ වාහනය ධාවනය කිරීමට සිදු වී ඇති කාලය පිළිබඳ සිතිය යුතු කාලය එළඹ ඇත.
නිරුපද්‍රිතව භාරදීම කළ යුතුව ඇත. එහි වගකීම ඔබ සතුය. ඒ නිසා වාහනය හොඳ අවබෝධයෙන් ධාවනය කිරීමට බුදුහිමි මහත් උපදෙස් රාශියක් දී ඇත. ඔබ මෙහිදී ධාවනය කරනුයේ ඉතාමත් සිටින දුරකි. කටුක මාවතක් ඔස්සේ නිවන් දැකීමේ අරමුණ නිතර සිත තුළ රඳවා ගතහොත් සුන්දර පාරාදීසයක් පිළිබඳ ඔබ සිතනවානම් වාහනය බොහොම පිරිසිදුව ආබාධ රහිතව ගෙන යාමට ඔබට හැකිවෙනවා ඇත.
සිත සැදීමේ දහමක් ලෙස බුදු දහම පෙන්වා දිය හැකිය. නිවන පවතිනුයේ බොහෝ දුර නොව තමා ළඟ බව බුදුහිමි පෙන්වා දී ඇත. එමනිසා නිවීම ඇත්තේ තමා සතුවය. ඇස, කන, නාසය, දිව, ශරීරය ගිනිගෙන ඇත. නොසන්සුන්ව ඇත. සම දේ පසු පස දිවයයි. මෙය නතර කරන්න. ඉන්ද්‍රියන්ට නිවීම දෙන්න. එවිට ඔබට සැනසීම ලැබේ. නිවන යනු ඒ අවස්ථාවේ පහළ වන්නක් නොව ටිකෙන් ටික පියවරෙන් පියවර ළඟා විය යුතු තැනකි.
ඔබ සීලයෙන් මෙය ආරම්භ කරන්න ඔබ කුමන වයස් සීමාවක සිටියත් එයට කිසිදු බාධාවක් නැත. සීලයෙන් අවබෝධයෙන්් මේ මාර්ගයට බැස ගුණ ධර්ම ප‍්‍රගුණ කරන්න. බුදුහිමියන් දෙසූ එක ධර්ම කරුණකින් පවා මේ ගමන ඇරඹිය හැකිය. ඔබ නිවනට ටිකට් අරගෙන ඇත. අනුරාධපුරයට යාමට ටිකට් ගෙන දුම්රියට නැග ඇත්නම් ඒ ගැන නිතර සිතිය යුතු නැත. හික්කඩුව පහු කිරීමට වේවායී සිතිය යුතු නැත. දුම්රිය මාවත වැටී ඇත්තේ හික්කඩුව හරහාය ඔබ හොදින් දන්නවා ඇත. ඒ නිසා ඔබ නිවන් මගෙහි අවබෝධයෙන් යෑමට ප‍්‍රාර්ථනා කරන්න. පිරිස සමග සතුටින් වටපිට නරඹමින් ගමන යෑමට ප‍්‍රාර්ථනා කරන්න. ඔබ වර්තමානයේ ජීවත් වන්න. සජීවීව ජීවත්වන්න. බුදු දහම ඔබ සමග ඉන්නවා ඇත.
දවස ගතකර දවස අවසානයේ ඔබට අවංකව සතුටු විය හැකිනම් ඔබේ නිවීම ඔබ උදාකර ගෙන ඇත. මේ ජීවිතයෙන් නිවුනු මනසකින් මෙයින් සමුගත හැකිනම්. ඔබ මෙහි පැමිණියාට වඩා සාර්ථක කෙනෙකු ලෙස පිටවී යා හැකිය.
ධර්ම කරුණු පාලි වාක්‍ය ඔබ තුළට ගෙන යනවාට වඩා සරලව ඔබට යම් පණිවිඩයක් දීම සඳහා ගත් උත්සාහයකි. නිවන නැමති ගැඹුරු සංකල්පය කිසිසේත් අවතක්සේරු නොකළා යැයි සිතිය යුතුය.
සූත‍්‍ර හා අභිධර්ම කරුණු ගෙනහැර පෙන්වමින් ලිපිය සාරවත් කළත් එයින් වර්තමනයට කිසිසේත් ප‍්‍රායෝගික නොවන බවක් මා හට වැටහී ඇති. අනවබෝධය මිනිස් සිත්සතන් තුළ ඇති තාක්කල් මැණිකක් වුවත් කලූ ගලක් ලෙස දැකීම. නිතැතින්ම සිදුවේ. බෞද්ධයා නිරන්තරයෙන්ම අවබෝධයෙන් කටයුතු කරන්නෙකි. තමාගේ හුදු ලාභ ප‍්‍රයෝජනය සඳහා අපහසුවෙන් පෙර ආත්ම වලින් උපයා සපයා ගත් මුදලින් ලබා ගත් නිරවුල් ඉඩම පවා උකස් තබන බෞද්ධයන් අප අතර සිටින බවද අමතක නොකළ යුතුය. ඡීවිතය ඉතාම පහත් ක‍්‍රියාවක් සඳහා වුවද අනවබෝධය නිසා යෙදවීම දැකිය හැකිය. සමාජයේ තත්වය දෙස විමර්ශනශීලීව බැලීමේදී කනගාටුවක් හා සංවේගයක් පමණක් ජනිත වන බව පෙන්වා දිය හැකිය. බෞද්ධයන් ලෙසින් අප අවධිව වී ඇති කාලයකි. නැතිනම් ත‍්‍රිපිටක පොත් අල්මාරි තුළ තේජාන්විතව වැඩ සිටිනවාට කිසිම සැකයක් නැත. අප දැනගතයුතුයි පොත්පත් වල සටහන් නොවූනත් අපි පරීක්ෂානොකළත් එය සදාතනික අකාලික ධර්මයකි. ධර්ම ග‍්‍රන්ථ අරමුණු කර පොත්පත් වල සටහන් කළ පමණින් අපේ යුතුකම ඉටුවූවා යැයි නොසිතිය යුතුය. එහි නියම ඵලය ලැබීමට නම් එහි අඩංගු කරුණු ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ යුතුය. බුදුදහම යනු ප‍්‍රායෝගික ක‍්‍රියාදාමයක සුළු ඵලයකි. ඉඩම නිරවුල් වුවත් වැට ඉදිකිරීම පොළොව සකස් කිරීම ප‍්‍රඥා බීජයන් පැළ කිරීම කළ යුත්තේ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් තුළය. පොත්පත් වල තිබෙන දෙයක් නොවන බවත් මුඛපරම්පරාවෙන් රැුගෙන ධර්මය ජීවමාන බවකින් බෞද්ධයා ජීවමාන කළ බවත් පෙර යුගවල දැකිය සීල, සමාධි, ප‍්‍රඥාව සහ නිවැරදි මාර්ගයට ප‍්‍රවේශ වෙමින් උතුම් නිවන් සැපත ලබා ගැනීම බෞද්ධ වන අප කාටත් අවධි විය යුතු කාලයකි.
සියලූ ධර්ම කරුණු භෞතිකය අභිබවා ගිය අධ්‍යාත්මික සංකල්ප තුළ ගොඩනැගී ඇත. ලෞකික සැපත්හිම ඇලී ගැලී වෙලී පැටලී මුලාවී මුසපත් වී සිටින අයහට අලෞකික නිවනක් ගැන කොතෙක් නිවන් තේරුම් නොගනු ඇත. නිවන ගැන තේරුම් කරවීම එතරම් දුෂ්කර වනුයේ එය පරම සැපයක් වුවද ලෝකෝත්තර – ලොවින් එතර වූ අවේදයික – ඵස්ස පච්චයා වේදනා නම් වූ ඇතිවන නැතිවන විදිහ සුළු තාවකාලික සැපයක් නොවන බැවිණි.
සිතේ පවතින සියලූ කෙලෙස් විෂ කෙලෙස් ගිනි කෙලෙස් බාධක කෙලෙස් දොස් සංසිඳී පවතීද එය අප සැම පතන නිර්වාන ධාතුවය. එයට වඩා සෙවිය යුතු ලාභයක් හෝ කැමති විය යුතු ධනයක් හෝ සෙවිය යුතු පිහිට හෝ මේ එක් තිස් භූමිකයෙහිම කොතනකවත් නැත්තේය.
බුද්ධ ශාසනයෙහි දැක්වෙන ප‍්‍රතිපත්ති මාර්ගයේ අවසාන ප‍්‍රතිඵලය නිවනයි. මෙය නිර්වචනය කිරීම නිශ්ඵල වී ඇත. ඊට හේතුව නිවන වචන වලින් විස්තර කළ හැකි දෙයක් නොවීමයි. එය හරි දැක්ම පෙරටුකොට අවබෝධ ඥානයෙන්ම දතයුතු නිසාය. ,නිවන, තර්කට විෂය නොවේ. නිවන ලොකෝත්තර හා අධ්‍යාත්මික තත්වයකි. තර්කයට විෂය වනුයේ ලෞකික සිතුම් පමණකි.
තථාගත සම්මා සම්බුදු රජානන් වහන්සේ ලෝ සතුනට මහා කරුණාවෙන් පහදා වදාළ ශාන්ත නිවන් සැපත වනාහි අති සුපරිසුද්ධ ගාම්භීර ධර්මයකි.
මිනිසාගේ අධ්‍යාත්මයේ පවතින ප‍්‍රබල අකුසල සිත් තුනකි. රාග, දෝෂ, මෝහ වශයෙන් පෙන්වා දියහැකිය. එක් අවස්ථාවකදී බුදු හිමි මෙසේ පෙන්වා දී ඇත. ,ඇවැත්නි, නිර්වාණය නිර්වාණය යැයි කියනු ලැබේ. ඇවැත්නි නිර්වාණය නම් කුමක්ද ඇවැත්නි රා දෝෂ මෝහ ක්ෂය කිරීමක් වෙත්ද එයට නිර්වාණය යැයි කියනු ලැබේ යයි බුදු හිමි පෙන්වා දී ඇත.
රාග, දෝෂ, මෝහ යන ඒවායෙන් ඉන්ද්‍රිය පස මුලාවට පත්වී ඇත. එයින් නිදහස් වීම නිවීම ලෙස පෙන්වා දී ඇත. අප විසින් සංසාරය තුල එකතු කර ගෙන එන්නාවූ අකුසල චේතනා සිත තුළින් ඉවත්කර දැමීම සඳහා බුදු හිමි නිවැරදි මාවතක් පෙන්වා දී ඇත. එහිදී සීලයෙන් අරබා ප‍්‍රඥාවෙන් කෙලවර කළ යුතුය.
අධ්‍යාත්මික සංකල්පය අවධිකළ යුතු යුගයක් වශයෙන් මෙය පෙන්වා දිය හැක. පුද්ගල සන්තානයේ පවතින අධ්‍යාත්මික තත්වය අපිරිසිදු කිරීමට රාග, දෝෂ, මෝහ සිතිවිලි වලට සිදුකළ හැකිය. භෞතික සංකල්ප ජයග‍්‍රහණය සිදු කිරීමට වඩා පිරිසිදු ආධ්‍යාත්මයේ පාරිශුද්ධිය වන නිවන වසාගත් ඉහත සිතුවිලි ඉවත් කර උතුම් වූ පරම සැපත පෙන්වා දීමට බුදු හිමි මාර්ගය පෙන්වා දී ඇත.
ආධ්‍යාත්මය මත සමස්ත භෞතිකය රඳා පවතී. ආධ්‍යාත්මික තත්වය බිඳ වැටීමෙන් සමස්ත භෞතිකය කඩා වැටෙනවා ඇත. අපර අමරණීය වූ නිවන් දැකීම අධ්‍යාත්මික සංකල්පයකින් හෙබි වූ නිවන ලබා ගැනීම මිනිසා විසින් ලබා ගතහැකි උතුම්ම සම්පත වන්නේය.
ආධ්‍යාත්මික විද්‍යාවක් ඔස්සේ නිවන යන සංකල්පය දෙස බැලීම 2500න් පසු සිදු විය යුත්තක් ලෙස මාහට හැඟීයයි. භෞතික ලෝකයේ උදාහරණ පෙන්වා දීම හොඳටම ඇති බව පෙනේ. අලූත් මාවතකට පිවිසීමේ කාලය උදාවෙමින් පවතී. බෞද්ධ අපට නීවරණ ධර්ම 5 පිළිබඳවත් කෙලෙස් 1500 තේරුම් ගැනීමේ ගමන් මාවත විවෘත කර ආධ්‍යාත්මික විද්‍යා නවතම මගක් ඔස්සේ පියවර මැනීම සිදු විය යුතු කාලය උදාවී ඇත.
සිත දවන තවන ස්වභාවය ඇති බැවින් ,ගිනි, ලෙස රාග දෝෂ මෝහ ආදී කෙලෙස් ගිනි ශාන්ත නිවන් සැපත කරණ කොටගෙන නිවා දමන්නේය යන අර්ථයෙන් නිර්වාණය කිව හැක.
,ලෝකතෝ උත්තරතීත ලෝකුත්තරෝ, කාම, රූප, අරූප යන ලෝකත‍්‍රයෙන්ද සකල දුක්ඛ ලෝකයෙන්ම ද සකල ක්ලේශ ලෝකයෙන්ද එතෙර වූ අර්ථයෙන් ලොකෝත්තර නම් වේ. අධ්‍යාත්මය පිරිසිදු කර ගැනීම එනම් නිවන් සුව අවබෝධ කර ගැනීමට බව දත යුතුය.
සත්වයන් පුද්ගලයන් පරමාර්ථ වශයෙන් නැතත් ව්‍යවහාරික ලෙස දැකිය හැකි වුවත් අධ්‍යාත්මික සංකල්පය තුළ පුද්ගලයන් සත්වයන් සැරිසරන බවද එහි පැටලී ඇතිබවත් එයින් නිදහස්වීම නිවීම ලෙස වටහා ගත යුතුය.
උදාන පාලියේ පඨම නිබ්බාන සූත‍්‍රයෙහි කියූ ආකාරයට නිවන යනු කුමක්ද යන්න පැහැදිලි කර ගැනීම වැදගත් කොට සලකමි මහණෙනි. මම මේ නිවන එන තැනක් යයි නොම වදාරමි. එසේම යන තැනක් යයිද සිටින තැනක් යයිද චුතවන තැනක් දැයි මතු උපදින තැනක් යයිද නොම වදාරමි. එය සංස්කාරයන්ගේ නැවත නැවත ඉපදීම වශයෙන් පැවැත්මක් නැති ස්වභාවයක්මය. එය නාම ධර්මයන් වුවද චිත්ත චෛතසිකයන් සේ රූපාදී අරමුණු ගැනීමක් නොකරන ධර්මයක්ය. සකල දුක්කයන්ගෙන්ම අන්තය. කෙලවර ඒ ශාන්ත නිර්වාණ ධර්මයයි. තතාගතයන් වහන්සේ පහදා වදාළහ. ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක රහිත වූ කාමයන්ගෙන් හා ක්‍රෝධයන්ගෙන් කිලිටි වීමක් නැති තෘෂ්ණා බැමි මෙන් මිදුනු උතුම් තත්වයකි.
ගා/බටේමුල්ල ජාතික පාසලේ ක‍්‍රීඩා උපදේශක
ත‍්‍රිපිටක ධර්මවේදී
අභිධර්මාචාර්ය ශාස්ත‍්‍රවේදී
අජිත් කුමාර මයා.
(බටේමුල්ල ජාතික පාසලේ අනුශාසක)

