.. අමාදොර ඔවුනට ඇර ඇත දී ඇත
ඇසුමට කන් ඇත්තෝ , සැදැහැ මුදා හරිත්වා1
(අරිය පරියේසන සූත‍්‍රය මජ්. නිකාය)
බුදු බව ලැබීමෙන් පසු, බුදු ඇසින් ලොව බලා වදාළ බුදු පියාණන් වහන්සේට ලොව පෙනී ගියේ උපුල් විලක්, පියුම් විලක් ලෙසටය. නිලූපුල් විලෙක, රත් පියුම් විලෙක, හෙළ පියුම් විලෙක, ඇතැම් නිලූපුල්, ඇතැම් රත් පියුම්, ඇතැම් හෙළ පියුම් දියෙහි හටගෙන දියෙහි වැඞී, දියෙන් මතු නොවී, දිය තුළම ගැලී සිටිත්. ඇතැමෙක් වැඞී දිය මට්ටම හා සමව සිටිත්. ඇතැමෙක් දිය මතුපිටට පැන නැගී දියෙන් නොතැවරී සිටිත්.
විලෙක, පියුම් මෙන් ලොවෙහි ලෝ වැස්සෝ ද බුද්ධි බුද්ධි ප‍්‍රබෝධයේ විවිධ මට්ටම්වල සිටිත්. ඇතැමෙක් තියුණු නුවණ ඇත්තෝය. ඇතැමෙක් සුවසේ වටහා ගනිති. ඇතැමෙක් දුක සේ වටහා ගනිති. ඇතැමෙක් සුසිරිතට නැඹුරුවෙත්. ඇතැමෙක් දුසිරිතට නැඹුරු වෙත්.
ඒ එසේ නමුදු නොපිපි හැම උපුලක්ම පියුමක්ව සුපිපි බව කරා යන ගමනෙක යෙදී සිටිත්. එමෙන්ම, ලෝ වැසි සියලූ සත්හුද අත්දැකීම් තුළින් සාංසාරික බුද්ධියේ අවස්ථා තුනක් ඔස්සේ විමුක්තිය කරා යන ගනමක යෙදී සිටිත්.
1. ආස්වාදය 2. ආදීනව 3. නිස්සරණය
අවිඳු ගණඳුරේ අඳ වූ ලෝවැස්සෝ නිමක් නැති උපත් විපත් වට වළල්ලෙක සැපතක් සොයා දිව යෙති. එහෙත් පසිඳුරන් පිනවන මේ සසර ..මෙරි ගෝ රවුමෙහි බියකරු බව නිසරු බව වැටහෙන මොහොතක්ද ඔවුනට එනු ඇත. එවිට ඔවුහු සසර වට වළල්ලෙන් පිටට පැන ගැනීමට මගක් සොයමින් යදිති. පුදති. කන්නලව් කරති.
අසත්‍ය කෙරෙන් මා සත්‍ය කරා ගෙන යනු මැන,
අඳුරෙන් මා ආලෝකය කරා ගෙන යනු මැන.
මරණයෙන් මා අමෘතය කරා ගෙන යනු මැන.
ඉහත දැක්වූ බුදු වදන මොවුනට නියම සැනසුම් මග හෙළි කරති.
වී නණ්ඩුව ලොකුවට පෙනෙන දෙයක් නොවේ. වී ඇටය අග යන්තමින් රැුඳී තිබෙන එය පහසුවෙන්ම ගැලවී වැටෙයි. එහෙත් එය හරිහැටි කෙළින් කර තැබුවහොත් ඒ මත තබන අත්ලක් පත්ලක් සිදුරු කර ලෙයක් මතු කිරීමට පවා එය සමත් වේ.
බුදු පියාණන් වහන්සේ වදාළ උපමාවකි මේ. වි නණ්ඩුව, දුබල හැටියට පෙනෙන අපේ මේ සිතයි. එය කෙළින් කර ගැනීම, සිත නිසි මගට යොමු කිරීමයි. සිත තනා ගැනීමයි. අත්ල පත්ල සිදුරු කිරීම, අවිඳු අඳුරු කඳ බිඳීමයි. ලෙය මතු කිරීම නුවණත්, නිවනත් පාදා දීමයි.
වී නණ්ඩුව තරමටවත් නොපෙනෙන මේ සිතෙහි සැඟවී ඇති බලමහිමය බොහෝ දෙනා නොදනිති. සිත තනා ගැනීමේ මගද නොදනිති. ඒ නිසාම අවදු ගණ අඳුරේ ගිලී දුක්බර දිවි පෙවෙත් ගෙවති. නුවණත් නිවනත් පිරිහෙලා ගනිති.
තිලෝගුරු බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට හෙළිකොට වදාළ සිත තනා ගැනීමේ මගෙහි කෙමෙන් සැනසුම කරා යන පියවර අටකි.
හරි දැකුම් හරි පැතුම් හරි කියුම් හරි කැරුම් හරි දිවි පැවතුම් හරි වෙර දැරුම් හරි සිහි කෙරුම් හරි එකඟ කෙරුම්
මේ එක් එක් පියවර තුළින් දුබල සිත ප‍්‍රබලව කෙළින් වේ. හරි දැකුම් තුළින් මතුවන හරි පැතුම්, හරි කියුම්, කැරුම් ඇති හරි දිවි පැවතුම් කරා අපව ගෙන යයි. හරි දිවි පැවතුම් උදෙසා කැරෙන හරි වෙර දැරිම්, හරි සිහි කෙරුම්, මතු කැරදී හරි එකඟ කෙරුම් ඇති සිතක් තනා දෙයි. නුවණත්, නිිවනත්, පාදා දෙනුයේ මේ එකඟ සිතමය.
අරි අටනි මග තුළින් සිතෙහි ඇතිවන දියුණුව, ශීල සමාධි, ප‍්‍රඥා යන පද තුනෙන් හකුළා දැක්විය හැකිය. මිසදිටුව යන ගමනේ වල්මත්ව හසරක් නොදක්නා සිත, සික පද නමැති වරපටින් බැඳ හීලද කරවනුයේ ශීලයයි. සැලෙන තැවෙන ගති සන්සිඳුවා තැන්පත් කරවනුයේ සමාධියයි. ලොව ඇති තතු වටහා දී දැනුම්වත්් කරවනුයේ ප‍්‍රඥාවයි.
පුහුදුන් සිතක් සසර මඩ වගුරෙන් ගොඩනගාගෙන ලොව්තුරා නිවන දක්වාලන මහා වැඩපිළිවෙළේ රැුක්ම ශීලයෙන් සැළසේ. නැග්ම සමාධියෙන් සිදුවේ. දැක්ම ප‍්‍රඥාවෙන් ඉටුවේ.
තෙ රුවන තැන්පත් කළ හද මැදුරෙහි තැනෙන ධර්ම චෛත්‍යයේ පදනම ශීලයයි. බඳ සමාධියයි. කොත ප‍්‍රඥාවයි.
සතුරෙකුටවත් කළ නොහැකි තරම් විපතක්, නොමගට යොමු වූ තමාගේම සිත තමාට සිදුකරන බව බුදු පියාණෝ පෙන්වා දුන්හ. හරි දැක්මෙන් තොර සිත පවට බරය. පිනට හොරය. දුක, දොම්නස, අසහනය, පීඩනය එතැනය. මිහිපිටම අපායය.
මවකට. පියෙකුට වත් කළ නොහැකි තරම් සෙතක් සුමගට යොමු වූ තමාගේම සිත තමා ම සිදු කරන බවද එසේම පෙන්වා දුන්හ. හරි දැක්මට අනුව සීරුවෙන් කෙළින් වන එම සිත පිනෙන් බරය. පවෙන් තොරව, සැප සොම්නස, සහනය, දැහැනය, එතැනය. මිහිපිටමැ සුරපුරය බඹ ලොවය නිවනය.
මව්පියන් වැන්නේ
නෑසියන් නොම කරනේ
සෙත මෙමට සදනේ
හොඳට යොමුකළ මගේ සිතනේ (චිත්ත වග්ග ධම්ම පදය)
කුස ගින්නත්් දිළිඳු බවත් ජය ගනිමින් මිනිස් සංහතිය රැුක ගැනීමේ අරමුණ ඇතිව ඇරඹුණු වගා ව්‍යාපාර, වගා සංග‍්‍රාම, බවට පත්වී ඇත. මුඩු බිම් අස්වද්දමින් හැම බිම් අඟලක්ම වගා කරමින් වගා සංග‍්‍රාමය ඉදිරියට යන්නේ නවෝදයක සුබ සිහින මවා ගනිමිනි. එහෙත් ඒ සිහිනය සැබෑ කර ගැනීමට නම් ..මිනිස්කමද.. නොනසා රැුක ගත යුතු වේ. මිනිසත්කම රැුකෙන්නේ ගුණ වගාව තුළිනි.
ගුණ වගාව නොතකා හැරි කළ නොමිනිස්කම් ඉස්මතු වේ. වගාවේත්, ගොවිපළේත්, .. අහිංසක.. බව දුරු වේ. තිරිසන් ලොව ආදර්ශයට ගෙන එකිනෙකා ගොදුරු කර ගැනීමට පෙළඹේ. එහි ප‍්‍ර‍්‍රතිඵලයක් වශයෙන් නවෝදයක් වෙනුවට දැකිය හැකි වනුයේ මිලේච්ජ යුගයක පුනරුදයකි.
කිසිත් ..තෙතමනයක්.. නැති මුඩු සිත් පවා අස්වද්දාගත හැකි බුදු පියාණෝ හෙළිකර දුන්හ. ..ගුණ වගාව.. උන්වහන්සේගේ ..ජීවිකාව විය.
දිනක් කසී භාරද්වාජ බමුණා සී සාන තැනට පිඩු සිඟා වැඩිය උන්වහන්සේට ඒ බමුණා අභියෝගයක් ඉදිරිපත් කළේය.
මහණ, මම සී සාමි, වපුරමි. සී සා වපුරා වළඳව.
බුදුපියාණන් වහන්සේ ඊට දුන් පිළිතුර මෙසේය.
..බමුණ, මමත් සී සාමි, වපුරමි, සී සා වපුරා වළඳමි.
ඒ අසා විමතියට පත් බමුණා , මෙසේ කීය.
.. අපි භවත් ගෞතමයන්ගේ නගුලක්, හී වැලක්, කෙවිටක්, ගෙරි සරක් නොදකිමු. එසේ වුවුද භවත් ගෞතම මෙසේ කියයි. මම ද බමුණා සී සාමි. වපුරමි. සී සා වපුරා වළඳමි. එවිට බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ ගේ ගොවිතැනත්, ගොවි උපකරණත් මෙසේ හෙළිකොට වදාළහ.
.. සද්ධාව බිත්තර වී යයි. තපස වැසි දියයි. ප‍්‍රඤ්ඤාව මගේ විය ගහයි. නගුලයි.
වීරුය නගු ලීයයි. මනස සොතයි.
සතිය මගේ හී වැලයි, කෙවිටයි. නිවන මගේ අස්වැන්නයි.
කසීභාරද්වාජ සූත‍්‍රය (සුත්ත නිපාතය*
රෝහලක පරමාර්ථය සුවය ලබා දීමයි. වෙද හෙදි උපස්ථායකාදීන් ඒ ඒ රැුකියාවනට පුහුණු කරවනුයේද සමාජයේ සෞඛ්‍ය සුවසෙත පරමාර්ථය කර ගෙනය. ඔවුන්ගේ යුතුකම විය යුත්තේ රෝගීන් කරවීමය. රෝගය පිළිබඳව ඇති ප‍්‍රකට ආදර්ශ පාඨයද මෙසේය.
..රෝග නිවාරණය ප‍්‍රතිකාරයට වඩා හොඳය.
ඒ කෙසේ වෙතත් මේ වගකීම හරි හැටියටම ඉටු කිරීමේදී යම්කිසි පරස්පර විරෝධී තත්වයක් පැන නොනගීද? එහි පරමාර්ථයට අනුකූලව ක‍්‍රියා කරතොත් ඔවුන්ට තම රැුකියා අහිමිවීමේ තර්ජනයක් එල්ල නොවේද? පමණට වඩා ඉක්මනින්.. රෝගීන් කොහෙත්ම නොපැමිණොත්, රෝහලේ සේවක පිරිසට උග‍්‍ර රැකියා ප‍්‍රශ්නයකට මුහුණ පෑමට සිදු නොවන්නේද? ඉහත කී ආදර්ශ පාඨය පහත දැක්වෙන පරිදි වෙනස් කිරීම නුසුදුසුද?
..රෝග නිවාරණය ප‍්‍රතිකාරයටද වඩා නරකය.
මේ කියමනෙහි යම් විපරිත බවක් පෙනෙන නමුත් බුදුරජාණන් වහන්සේ එක් සිහි කටයුතු උදෑසනක ප‍්‍රත්‍යක්ෂයෙන් .. අවදි වූ ආර්ය සත්‍යයද මෙවැන්නකට තුඩු දෙන්නකි.
මුලූ ලොවම රෝහලකි.
මේ අමිහිරි වූ සත්‍ය ලෝකයාට රුචි නොවන නිසා අසමසම වෙදැදුරුතුමාණෝ මුලදී එය දේශනා කිරීමට පසුබට වූහ. ..මෙගොඩ වෙදුන් .. එය ඇදහීමට සූදානම් නැති බව එතුමෝ තේරුම් ගත්හ. රෝගය මුළුමනින්ම සුව කිරීමේ වැඩපිළිවෙළ ඇරඹුවොත්, මුළු රෝහල් සේවක මඩුල්ලම වැඩ වර්ජන තර්ජන ඉදිරිපත් කරන බවද මැනවින් දින සිටියහ. රෝහල් සංවිධානය අවුල් කිරීමේ චෝදනාව තමන් වෙත එල්ල වන බවද දත්හ.
ඇත්තෙන්ම සිදුවූයේද වැන්නකි. ලෝකානුකම්පාව නිසා අන්තිමේදී ධර්මය දේශනා කිරීමට තීරණය කර, ලෝ රෝහලේ තම ලොවුතුරු සෞඛය වැඩපිළිවෙළ දියත් කළ විට බුදුන් වහන්සේට දැඩි විරෝධතා ඉදිරිපත් විය. තම සමාජ තත්වය රැුක ගැනීමට උනන්දු වූ ඇතැමුන්ගේ සාමාජික, ආර්ථික දෘෂ්ටි කෝණවලට අනුව නම් බුදුරජාණන් වහන්සේ කර ඇත්තේ නිරවුල් ලොව අවුල් කිරීමකි.
සිහසුන් හිස්වුණි. යුදසෙන් විසුරුවා හැරුණි, අනියම් ධන ඉපැයුම් මං ඇසුරුණි. මස්කඩ, තැබෑරුම්, ගණිකා නිවාසාදියට ද සදහම් පිළිවෙත් මගින් පහර වැදුණි. කසාවතෙහි වශී බලයෙන් මවුපියන්ට තම සුරතල් දරුවා අහමි විය. සැමියා බිරිඳගෙන් වෙන් විය. බිරිඳ සැමියාගෙන් වෙන් විය.
කරුණු මෙසේ හෙයින් දැඩි උද්ඝෝෂණ බුදුරජාණන් වහන්නෙස් වෙත එල්ල වීම පුදුමයක් නොවේ.
ශ‍්‍රමණ ගෞතමයෝ මවුපියනට ¥ පුතුන් අහිමි කරවන්නෙකි. ශ‍්‍රමණ ගෞතමයෝ වැන්දඹු බව ඇති කරවන්නෙකි. ශ‍්‍රමණ ගෞතමයෝ පෙළපත් නසන්නෙකි.
බුදුරජාණන් වහන්සේ ඒ උද්ඝෝණයට පූතිචාර දැක්වූයේ මේ සාධාරණ පිළිතුරෙනි.
..මහාවීර වූ තථාගතවරුද ජනයා සද්ධර්මයෙන්ම යොමු කරවා ගනිත්. ධර්මයෙන් යොමු කරවන කල නුවණැත්තන්ට කවර නම් ඊර්ෂ්‍යාවක් ද?
අසමසම වෙදැදුරුතුමා සැළකිළිමත් වූයේ සත්වයාගේ සාංසාරික බුද්ධි මට්ටම පිළිබඳවය.
මාරයාගේ රාජධානියෙන්, සසර යළි උපත්, විපත්, වට වළල්ලෙන් එක් සත්වයෙකු හෝ මුදා ගත හැකි වේ නම් එතු මෝ ඔහු සොයා ගොස් ප‍්‍රතිකාර කළහ. නියම වගකීමකින් යුතු අවංක වෛද්‍යවරයෙකු මෙන් බුදු වෙදැදුරුතුමා ද තම යුතුකම වශයෙන් සැළකුවේ රෝගීන්ට වහාම ප‍්‍රතිකාර කිරීමත්, ඔවුන්ට පූර්ණ සුවය ලබා දීමත, හැකි ඉක්මනිින් යළින් නොඑන්නට ඔවුන් ..ටිකට්.. කප්පවා රෝහලෙන් නිවන් නිවහනට පිට කිරීමත් ය.
පහත් දහමත් නොසොයවූ
පමාවෙන් කල් නොයවවු
මිසදිටුව නොගනිවු
ලෝ වඩන්නෙකු බවට නොවැටෙවු (ලෝකවග්ග ධම්ම පද)
කටුකුරුන්දේ ඥාණානන්ද හිමි


බූට් එකක් වගෙ දේකදි ඇරෙන්න අපේ පරපුරේ අයට ධර්මය ඇහෙනව දැනෙනව හරිම අඩුයි…..ඔබ වහන්සේගෙ දානය ප්‍රසන්සනීයය්……..මොන දානෙටත් වැඩිය ධර්ම දානය විසාල නිසා මේ උත්සාහයට ඔබ වහන්සේට බෝම පින්…….
http://www.seeingthroughthenet.net/
ඉහත වෙබ් ලිපිනය මගින් “කටුකුරුන්දේ ඤාණානන්ද හිමි“ විසින් දේශනා කරන ලද ඉතා වටිනා ධර්‍මය කියවීමට සහ ඇසීමට හැක.
[...] [...]
ඔබ වහන්සේට දිගාසිරි !!!!