විද්‍යාව – කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි

උතුම් බුදු සසුනක සොඳුරු කථාව අහසේ දිදුළන සඳ පවා කියයි. දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ..පින්වත් මහණෙනි, එහි හිරු එළිය නැත. සඳ එළියත් නැත. වෙන එළියකුත් නැත. එහි තිබෙන්නේ මහා ඝනදුරකි. මේ ලෝකයේ එබඳු තැන්ද තිබේ. එවිට එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසීය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස හිරු එළියත් නැති, සඳ එළියත් නැති, වෙන එළියකුත් නැති ඒම හා ඝන අඳුරටත් වඩා භයානක අඳුරු තැනක් තියෙනවාද?

..එසේය, පින්වත් භික්ෂුව, ඒ හැමටත් වඩා භයානක අඳුරු තැනක් තිබේ. ඒ අඳුරු තැන නම් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ සිතයි. (අන්ධකාර සූත‍්‍රය, සංයුක්ත නිකාය )

අප මෙතෙක් ගෙවා ආ ගමන කොතරම් දිගු දැයි අපටම නොතේරේ. අප නෙතින් ගලා ආ කඳුළු සයුර කොතරම් ගැඹුරු දැයි අපටම නොතේරේ. හදින් හෙළුෑ සුසුමන් කෙතරම් සැඩ දියි අපටම නොතේරේ. සසර පුරා පැතූ පැතුම් ලියා ලබන්නට මේ මහා පොළොවම තල්පතක් කළද, මදි වේයැයි, සිතේ.

අප වරක් දෙලොවටත්, තවත් වරෙක බඹලොවටත් තවත් වරෙක මනු ලොවටත් පැමිණියෙමු. සතර අපායේ ඉපදී දුක්විඳි වාර ගණන කවුරු නම් දකිත්ද?

සසර ගමනක සැරිසරන්නට බොහෝ දෙනෙකුන් බිය නැති බව සැබෑය. නමුත් සියලූ දෙනාම දුක් විඳින්නටත්, දඩුවම් ලබන්නටත් බිය වෙති. අපායේ උපදින්නට බිය වෙති. නමුත් මේ සත්‍ය පෙන්වා දෙන්නට සමත් කෙනෙක් ලොව පහළ වන්නේ කලාතුකිනි. මේ දුර්ලභව ලැබෙන බුදු සසුනකින් පමණක් මෙය අසන්නට ලැබේ. අප කවුරුත් අවබෝධ කළ යුුතු යථාර්ථයක් තිබේ. චතුරාර්ය සත්‍ය යනු එයයි. එම සත්‍යාවබෝධය ඇතිවනතුරු නොනවතින ගමනක් අපට උරුම වී තිබේ.

.. පින්වත් මහණෙනි, චතුරාර්ය සත්‍ය ධර්මයේ යථාර්ථය අවබෝධ කළ නිසා තථාගතයන් වහන්සේට අරහත්, සම්මා සම්බුද්ධ යැයි කියනු ලැබේ. (අභිසම්බුද්ධ සූත‍්‍රය සංයුක්ත නිකාය )

.. පින්වත් මහණෙනි, චතුරාර්ය සතය යනු සනාතන දහමකි. කිසිසේත් නොවෙනස්වන දහමකි. අන් අයුරකට පත් නෙවන දෙයකි. මෙයට ආර්ය සත්‍ය යැයි කියන්නේ එනිසාමය. (තථ සූත‍්‍රය සංයුක්ත නිකාය)

චතුරාර්ය සත්‍ය අකාලික ධර්මයක් නිසා හැමදාම අලූත්ය. විද්‍යානුකූලය. නුවණැත්තන්ට විවෘතය.  ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ශ‍්‍රද්ධාව තිබේ නම් වීරියත් නුවණත් තිබේ නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ හැකිය.  ඕනෑම තැනකට යාම පිණිස මාර්ගයක් තිිබේ. එලෙසින්ම සත්‍යාවබෝධයට ද මාර්ගයක් තිබේ. ඒ මාර්ගය නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

සත්‍යාවබෝධයට මුල් වූ දැක්ම සම්මා දිටිඨියයි. සත්‍යබෝධයට මුල් වූ කල්පනාව සම්මා සංකල්පයයි. සත්‍යාවබෝධයට උපකාර වන පරිදි වචන හැසිරවීම ක‍්‍රියා කිරීම, ජීවත් වීමද ඒ මාර්ගයට අයත්ය. සත්‍යාවබෝධයට උපකාර වන පරිදි උත්සාහ කිරීම සිහිය පිහිටු වීම, සමාධිය දියුණු කිරීමද ඒ මාර්ගයමය. කෙනෙකු මුළුමනින්ම සසරින් නිදහස් වෙන්නේ මාර්ගයේ ගමන් කිරීමෙනි. අවස්ථා හතරක් තුළ නිවන් මග ප‍්‍රගුණ වේ. පළමු අවස්ථාව සෝවාන් වීමය. එහි තේරුම සම්මා දිට්ඨිය තුළින් මේ නිවන් මග හොඳින් හඳුනාගෙන,ඒ මගට පිවිසීමය.  සෝවාන් වීම පිණිස ඉතා පැහැදිළි ලෙස චතුර් ආර්ය සත්‍ය ගැන අසා දැනගත යුතුය.

ඒ ඇසූ ධර්මය ඔස්සේ තම චින්තනය මෙහෙය විය යුතුය. නුවණින් මෙනෙහි කිරීම භාවනාවට අදාළ කොටසකි. සෝවාන් වූ නෙකෙකුට සත්‍ය ඥානය තිබේ.

සත්‍ය ඥානය යනු කුමක්්ද? මේ දුක  ආර්ය සත්‍යයකි. මේ දුක් හට ගැනීමත් ආර්ය සත්‍යයකි. දුක් නැතිවීම පිණිස උපකාර වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ද ආර්ය සත්‍යයකි. මෙයයි සත්‍ය ඥානය. දුක්ඛ සත්‍ය ගැන සෝවාන් කෙනෙකු තුළ ඉතා පැහැදිලි අවබෝධයක් තිබේ. සක්කාය දිට්ඨිය ග‍්‍රහණය වීමට හේතු වන්නේද හයමය. මේ ජීවිතය කොටස් පහකින් යුක්තය. ඒවා හඳුන්වනුයේ පංච උපාදානස්කන්ද නමිනි.

හතර මහා ධාතූන්ගෙන් හටගත් රූපත්, ස්පර්ශයෙන් හටගත් වේදනා, ස්පර්ශයෙන් හටගත් පඤ්ඤා, ස්පර්ශයෙන් හටගත් චේතනාත් නාම රූපයෙන් හටගත් විඤ්ඤාණය යන මෙය පංච උපාදානස්කන්ධයයි. දුක වශයෙන් බුදු සමිඳුන් පෙන්වා වදාළේ මේ පංච උපාදානස්කන්ධයයි. මේ පංච උපාදානස්කන්ධයටම .. සක්කාය යයි කියනු ලැබේ. ඒ ගමන් ගත් පඤ්ච උපාදානස්කන්ධය තුළ තමන්ට අවශ්‍ය පරිදි, තමාගේ අභිමතය පරිදි හෝ බාහිර කෙනෙකුගේ වුවමනාව මත හෝ පැවැත්විය හැකි ආත්මයක් ඇතැයි යන හැඟීම සක්කාය දිට්ඨියයි. ඒ හැඟීම මුළුමනින්ම දුරුවන්නට නම්, පංච උපාදානස්කන්ධය හට ගන්නා ආකාරයෙන් නැසී යන ආකාරයත්, පංච උපාදානස්කන්ධය නිසා ඇතිවන ආස්වාදයත් ඒ නිසාම විඳින ආදීනවයත් ඒ පංච උපාදානස්ඛන්ධය කෙරෙහි ඇති ඇලව දුරු කිරීමෙන් එයින් නිදහස් වෙන්නට පුළුවන් බවත් යන මේ කරුණු අවබෝධය සමත් සෝවාන් පුද්ගලයා තුළ දුක පිළිබඳ සත්‍ය ඥානය ඇතිවේ. ඉතිරි ආර්ය සත්‍ය ගැනත් සත්‍ය ඥානය ඇතිවන්නේ ඒ සමගය. දස්සන සම්පත්තිය කියන්නේ එයටයි. ඒ අවබෝධය ඇතිවෙන විට ඔහු තුළින් සක්කාය දිට්ඨිය ප‍්‍රහාණය වේ.

තමා තුළින් දුක තේරුම් ගත් කෙනෙකුට මෙතෙක් දුක පැවතුන ආකාරයද වැටහේ. වර්තමානයේ දුක පවතින ආකාරයද වැටහේ. ඒ ගැන බුදු සමිඳුන්ගේ අවබෝධය පරම සත්‍යයක් බව වැටහේ. බුදු සමිඳුන් එය පහදා දුන් ධර්මයද වැටහේ. ඒ මග ගමන් ගත් මහ ඵල ලාභීන්ගේ ජීවිත ගැනද වැටහේ. කය වචනය සංවර කරගෙන චිත්ත දමනයකින් යුතු සමථ විදර්ශනාවම දියුණු කළ යුතු බවද වැටහේ. එබඳු කෙනෙකුට සැකයක් කොයින්ද?

විචිකිචිචාව නැතිවිම යනු එයයි.

එබඳු කෙනෙක් බුදු සසුනේ වදාළ විනය වන සිල්පද රැුකීමට ඉතා කැමතිය. සීල සංවරයෙන් ඉන්ද්‍රිය සංවරයෙන්, ආර්ය මාර්ගය පිරිසිදු වන බව ඔහු දන්නා නිසාය. එවැන්නකුට සීලබ්බතපරාමසයක් කොයින්ද?

මෙලෙසින් සම්මා දිට්ඨිය ඇතිවූ ආර්ය ශ‍්‍රාවකයා ආර්ය මාර්ගය දියුණු කර ගැනීම පිණිස, සම්මා දිට්ඨිය පාදක කරගෙන සම්මා වායාම සමමා සති යන ගුණ දහම් දියුණු කරගෙන ඉතිරි මාර්ගාංග ඒ නිසා දියුණු කරන ලද සිහියෙන් යුක්තව සතුන් මැරීමෙන් වළකී, සොරකම් කිරීමෙන් වළකී. පිරිසිදු චරිතයන් ගොඩනගා ගනී. ධාර්මික පැවැත්මක් ඇති කර ගනී. තමන් ගත කරන ඒ ධාර්මික ජිවිතය දෙස බලා මහත් සතුටක් ලබයි.

මේ ආකාරයෙන් සම්මා දිට්ඨියෙන් යුතු ශ‍්‍රාවකයා, කය, වචනය. සංවර කරගෙන සිහි නුවණ දියුණු කර ගනී. ඒ සඳහා කළ යුත්තේ සතර සතිපට්ඨානය වැඞීමයි. කායික ස්වභාවයන් ගැන සිහිය පිහිටුවා ගැනීම කායානුපස්සනාව නම් වේ. විඳිම් ගැන සිහිය පිහිටුවා ගැනීම වේදනානුපස්සනාව නම් වේ. සිත ගැන සිහිය පිහිටුවා ගැනීම චිත්තානුපස්සනා නම් වේ. පංචඋපාදානස්කන්ධය ගැනත්, ආයතන හය ගැනත්, බොජ්ජක්ඛග ධර්ම ගැනත් චතුර්ආර්ය සත්‍ය ගැනත් සිහිය පිහිටුවා ගැනීම ධම්මානුපස්සනා නම් වේ. කායානුපස්සනාවේදී ආනාපානාසති, අශුසා මනසිකාරය, ධාතුමනසිකාරය, ඉරියව් පැවැත්ම සිහි කිරීම, නුවණින් සළකා ඉරියව් හැසිරවීම හෙවත් සති සම්පඤ්්ඤය, මෘත ශරීරයක් අමු සොහොනක අතහර දමා ගිය විට ඒම මෘත ශරීරය කෙමෙන් කෙමෙන් කුණුවී , විනාශ වී පොළොවට පස් වී යන තෙක් නුවණින් විමසා බලා මේ ශරීරයත් එබඳු ස්වභාවයෙන් යුක්ත යැයි සැළකීම හෙවත් නව සීවඨිකය යන මේ සියල්ල අයත් වන්නේ කායානුපස්සනා සතිපට්ඨානයයි. මේ කවර හෝ භාවනාවක් ඔස්සේ දිගින් දිගට සිහිය පවත්නවිට පංච නීවරණ සංසිඳි යයි. සිත එකඟ වෙයි.සමාධිය ඇතිවෙයි.

එමෙන්ම ස්පර්ශය ප‍්‍රත්‍යයෙන් හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා පිළිබඳව මනා සිහියෙන් යුක්තව සිටීම වේදනානුපස්සනාවයි. වේදනානුපස්සනාව තුළින් සිහිය දියුණු කර ගැනීම අවශ්‍ය බවත් පැහැදිලි කරුණකි. ඇතවෙන නැතිවෙන සිත් ගැන සිහියෙන් සිටීම, චිත්තානුපස්සනාවයි.

සරාගී සිතක් ඇති විට එය වහා හඳුනා ගනී, දුබල සිතක් ඇතිවෙන විට එය වහා හඳුනා ගනී, රාග රහිත සිතක් ඇතිවෙන විට එයත් හඳුනා ගනී. ද්වේෂ රහිත සිතක් ඇතිවන විට එයත් හඳුනා ගනී, මෝහ රහිත සිතක් ඇතිවන විට එයත් හඳුනා ගනී, නිදිමත හැකිීළී ගිය සිතක් ඇති විට එයත් හඳුනා ගනී, බාහිරව විසිරී ගිය සිතක්ඇති වන විට එයත් හඳුනා ගනී, එකඟවන සිතක් ඇතිවනවිට එයත් හඳුනා ගනී, ධ්‍යාන සිතක් ඇතිවිට එයත් හඳුනා ගනී. මේ ආදී වශයෙන් ඒ ඒ කරුණු මත සිතේ සකස් වන ස්වභාවය හොඳින් හඳුනා ගැනීම චිත්තානුපස්සනාවට අයත් වේ. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ සම්මා දිට්ඨිය තුළින් ඇති කරගත් නුවණින් යුක්තව මතා කොට කල්පනාව හසුරුවමින්, වීර්යයෙන් යුක්තව, සිහියෙන් යුක්තව මේ අනුපස්සනාව වැඩිය යුතු බවයි.

එමෙන්ම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාධානස්ඛන්ධයේ ස්වභාවයත්, ඒ පංච උපාදානස්ඛන්ධය මුල් කොටය සසර ගමන සකස් වන ආකාරයත් ඒ පංච උපාදානස්ඛන්ධයේ යථාර්ථය අවබෝධ කොටගෙන පංච උපාදානස්ඛන්ධය භව ගමනක් පිණිස සකස් නොවන ආකාරයට දැන ගැනීමත් අයත් වන්නේ ධම්මානුපස්සනාවටයි.

සෝතාපන්න වූ ශ‍්‍රාවකයා රාගය ඇතිවන විට එය ඇති වන්නේ සරාගී අරමුණක් ගැන නුවණින් මෙනෙහි කිරීමෙන් බව වහා තේරුම් ගනී, දුබලයක් ඇතිවූ විට එය ඇතිවන්නේ දුබල සහගත අරමුණක් අනුවණින් මෙනෙහි කිරීම නිසා බවත් වහා තේරුම් ගනී, තමා තුළ සකස් වන වැරදි කල්පනාවේ මුල අයෝනිසෝ මනසිකාරය පබව ඔහුට පැහැදිලිය. ඔහු එය දුරු කර ගැනීම පිණිස යළි යළිත් යෝනිසෝමනසිකාරය ඇති කර ගනී. යෝනිසෝමනසිකාරය දියුණු කිරීමට බලවත්ම බාධාව වන්නේ පංච නීවරණයි. ආර්ය සත්‍යාවබෝධය වළක්වන, පාපී අකුසලයටම ඇදී යන ප‍්‍රමාදය ඇතිකරවන ගතියක් පංච නීවරණ තුළ තිබේ. පංච නීවරන යනු කාමාශාව ඇතිවන අරමුණු ඔස්සේ සිත බැඳී පැවතීම නම් වූ කාමච්ජන්දය ද්වේශය, ඇතිවන අරමුණු ඔස්සේ සිත බැඳී පැවීම නම් වූ ව්‍යාපාදය, විර්යත්, සිහියත් පිහිටුවා ගැනීමට ප‍්‍රබල බාධාවත්ව පවතින නිදිමත හා අලස බව නම් වු ඨීනමිද්ධය සිතේ සංසිඳීමට බලවත් බාධා ඇතිවන සිතේ විසිරීමත්, පසුතැවිල්ලත් නම් වූ උද්ධච්ච කුක්කුච්චය තමන්ගේ භාවනා මාර්ගය ගැන සැකය නමු වූ විචිකිච්චාව නම් වූමේ පහයි. පංච නීවරණ දුරුකර ගැනීමේ අවශ්‍යතාව සෝවාන් පුද්ගලයා තුළ නිතැතින්ම ඇතිවේ. හේ පංච නීවරණයන්ට හිතකර දෙයින් බැහැර වීමට මහන්සි දරයි. සරාගි අරමුණු තුළ ඇසිපිය හෙළන මොහොතකත් වඩා වේගයෙන් කාමච්චන්දය හටගනී, සෝතාපන්න ආර්ය ශ‍්‍රාවකයා මෙය නීවරණයක් බව හොඳින් හඳුනා ගනී. ඒ කාමච්ජන්දය දුරු කර ගැනීම පිණිස මහත් විරියෙන් යුක්තව පිළිකුල් භාවනාවේ යෙදෙයි. ශරීරයේ ඇති පිළිකුල් කොටස් වෙන් වෙන් වශයෙන් විමසා බලයි. සතර මහා ධාතූන්ට අයත්වූ ඒ ඒ කොටස් වෙන් වෙන්ව විමසා බලයි. මෘත ශරීරයක් ඉදිමී කුණු වී පොළොවට පස් වි යන තෙක් නුවණින් සිහි කරයි.

ඒ භාවනාවන් දියුණු වේගෙන යන විට සරාගී, අරමුණු වලට හිත ඇදී යන ගතිය අඩුවෙයි. මෛත‍්‍රී භාවනාව දියුණු කරන විට, ද්වේෂ සහගත අරමුණු වලට සිත ඇදි යන ගතිය අඩු වෙයි. එවිට ආනාපානාසති ආදියත් පංචුපාදානස්ඛන්ධයේ අනිත්‍ය භාවනාවක් ආදිය දියුණු කරගත හැකිය.

කෙනෙකු සිහිකල්පනාවෙන් නොසිටියොත් තමාගේ වදන අසංවර වන මොහොත දැනගත නොහැකිය. නමුත් සිහිය දියුණු කරන විට, බොරුවක් කීමට සූදානම් වන විට සිහිය උපදී, කටින් කේලමක් පිටවෙන්නට සූදානම් වන විටම මෙය කේලමක් බවට සිහිය උපදී, පරුෂ වචන කටින් පිටවන විටම සිහිය උපදී, අර්ථ ශුන්‍ය හිස් වචන කථාවෙන විටම සිහිය උපදී, එවිට ඔහු කරන්නේ ඒ අකුසල් වචන කටින් පිටවෙන්නට නොදී වහා සංවර කරගෙන විරිය ඇති කර ගැනීමයි. ධර්ම කථාව පටන් ගැනීමයි. එසේත් නැතිනම් නිශ්ශබ්දව සිටීමයි. ආර්ය මාර්ගය හොඳින් ප‍්‍රගුුණ වන විට වචනයෙන් අකුසල් සිදුවීම නැත්තමට නැතිවි යනු ඇත.

කයින් සිදුවන අකුසල් වලින් වැළකීම අත්‍යවශ්‍ය කරුණකි. මේ සඳහා ඇති වඩාත් පහසු ක‍්‍රමය නම් ශික්ෂාපදවල හික්මීමයි. වරදින් අත්මිදෙන්නට ඔහු සීමාව හැටියට ලබා ගන්නේ ශික්ෂා පදයි. ඔහු තුළ පවට ලජ්ජාවක්, විපාකයට භයක් ඇතිවේ.

එමෙන්ම මේ ඇස් කන් ආදී ආයතනත් රූප, ගන්ධ ආදී බාහිර ආයතනත් මුල් කරගෙන සංසාරය සකස් වන ආකාරයත් ඒ ආයතනම අවබෝධ කර ගැනීමෙන්  සංසාරයෙන් නිදහස් වන ආකාරයත් නුවණින් විමසීම අයක් වන්නේද ධම්මානුපස්සනාවටයි. ඊළඟට විස්තර වන්නේ බොජ්ජඣංගධර්ම ගැනයි.

බොජ්ජඣංග යනු චතුරාර්ය අවබෝධය ඇති කරවන අංගයන්ය. ඒ බොජ්ජඣංග ධර්ම  හතක් ගැන භාග්‍යවතුන් වහන්සේ අපට පහදා දී තිබේ. ඒවා නම් සති ධම්ම විවය විරිය ප‍්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා යන බොජ්ජඣංග ධර්මයන්ය. ඒවා වැඩිය යුතුය. මේවා දියුණු කරන්නට පෙර කළ යුත්තේ සතිපට්ඨානය තුළ සමාධිය දියුණු කර ගැනීමය.

සම්මා සමාධිය යනුවෙන් ධර්මයේ සඳහන් වනුයේ ආර්ය මාර්ගයේ අනික් මාර්ගාංගයන් සමග යෙදෙන සිතේ එකඟ බවයි. සතිපට්ඨානයේ මනාකොට සිහිය පිහිටන විට සමාධිය ඇති විටය

ස්වභාවික දෙයකි. අපගේ බුදු සමිඳුන් සම්මා සමාධිය වශයෙන් වදාළේ ධ්‍යාන හතරය. ධ්‍යාන හතර දියුණු කරගත යුත්තේ සතිපට්ඨානය තුළින්මය. කෙනෙකු ආනාපානාසතිය වඩනවා යැයි සිතනවා. සමහරවිට එය අශුභ භාවනාව හෝ ධාතුමනසිකාරය වැනි දෙයක් විය හැකිය. භාවනාවකදි මුලින්ම කරන්නේ සිත කය, වචනය, සංවර කර ගැනීමයි. ඉන් පසුව වචී සංස්කාර හෙවත් විතක්ක විචාර මුල්කරගෙන භාවනා අරමුණු ගැන මනසිකාරයේ යෙදෙයි. ආනාපානාසතිය ගැන ඇති විතර්ක විචාර නම් තමන් හුස්ම ගැනීමත්, හුස්ම හෙළිමත් ගැනත් සිහි කිරීමයි. අශුබ භාවනාවේ විතක්ක විචාරය නමු දෙතිස් කුණප වෙන්වෙන් වශයෙන් ගෙන මෙනෙහි කිරීමයි. ස්කන්ධ භාවනාවේ විතක්ක විචාරය නම් පංච උපාදානස්කන්ධයන් වෙන් වෙන් වශයෙන් මෙනෙහි කිරීමයි. මේ සෑම භාවනාවක්ම කරන්නේ විතක්ක විචාර මුල් කොට ගත් විරියෙන් හා සිහියෙන් යුක්තවය. මේ ආකාරයෙන් ඔුනෑම භාවනාවක් අරඹන්නේ විතක්ක විචාරයන් මුල් කොටගෙනය. දිගන් දිගටම විතක්ක විචාර මුල් කොටගෙන  භාවනා අරම්නේ සිහිය පිහිටු වීමට උත්්සාහ දරන විට පංච නීවරන යටපත් වීම නිසා ඒ භාවනා අරමුනේම සිහිය පිහිටුවන්නට පටන් ගනී, නීවරණයන් යටපත් වීමෙන් මනාකොට සිහිය උපදින විට හිතට ප‍්‍රීතියක් ඇතිවේ. සිතේ ප‍්‍රීතිය නිසා කය සැහැල්ලූ වේ. කට සැහැල්ලූ වන වි ටමහත් සැපයක් ඇති වෙයි. ඒ සැපය නිසාම සිත සමාධිගත වෙයි. ඒ සමාධිය තුළ බොහෝ වේලාවක් සිත රඳවා ගන්ට පුරුදු කිරීමෙන් ඒ සමාධිය බලවත් වනු ඇත. එයට ඔහු තුළ තිබෙන්නේ විතක්ක විචාර ප‍්‍රීති සුඛ, ඒකග්ගතා යන අංග පහෙන් යුතු පළමුවෙනි ධ්‍යානයයි. පළවෙනි ධ්‍යානය හොඳට පුරුදු කළ විට ඒ ධ්‍යානය තව දුරටත් බලවත් කර ගැනීමට ඇති බාධාව කුමක්දැයි නුවණින් විමසයි. අතරින් පතර බාහිර සිතිවිලි වලට සිත යොමුවිමත් නැවත වහා භාවනා අරමුණට සිත පැමිණීමත් ප‍්‍රථම ධ්‍යානයේ ස්වභාවයයි. බාහිර අරම්න ඔස්සේ සිත ගමනක් කිරීමට හේතුවන්නේ විතක්ක විචාරයන්ගේ පැවැත්ම නිසාය. මෙය තේරුම් ගන්නා ඔහු එය විතක්ක විචාරයන්ගේ ආදීනවයන් ලෙස සළකයි.

විතක්ක විචාර හෙවත් වචනයේ මනසිකාර කිරීම සමාහිත සිතින් වළක්වා ගනී, විතක්ක විචාරවලින් තොරව භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගන්නට සමත් වෙයි. එවිට තමා තුළ ඇති සමාධිය වඩ වඩාත් ප‍්‍රකට වෙන්නට පටන් ගනී, භාවනාවට මුල් කරගත් විතක්ක විචාරයන් සංසිඳී යයි. ඒ තුළින් ඇති වන සිතේ එකගකම නිසා සමාධිය බලවත් වෙයි.

දැන් ඔහු ප‍්‍රීතියට පත්වන්නේ සමාධිය තුළින්ය. විතක්ක විචාර සංසිඳී ගිය ප‍්‍රීතියක් සැපයක් එකඟ බවක් ඇති දෙවන ධ්‍යානය වශයෙන් හඳුන්වන්නේ එයයි. පළමුවන ධ්‍යානයේ වෙනසත් දෙවන ධ්‍යානයේ වෙනසත් හොඳින් දැන ගනී,

දෙවැනි ධ්‍යානය මැනවින් පුරුදු කරන ශ‍්‍රාවකයා තමාගේ සිත වඩාත් ඇලෙන්නේ ප‍්‍රීතියට බව තේරුම් ගනී. සමාධියෙන් හටගත් ප‍්‍රීති සුඛයෙහි සිත ඇලී පැවතීම ගැන ඔහු අකමැති වෙයි. සමාධි බලය නිසාම ප‍්‍රීතියේ නොඇලී සිටීමට ඔහු වීරිය කරයි. එවිට කෙමෙන් කෙමෙන් සිත මධ්‍යස්ථ වෙයි. තවදුරටත් සිහිය දියුණු වේ. නුවණ දියුණු වේ. කයේ ඇතිවුණු සැහුල්ලූ බව වඩාත් ප‍්‍රකට වෙයි. එනිසාම කයින් සැප විඳි. එවිට ඔහු තුළ තිබෙන්නේ උපේක්ෂා සහගතවූත් වූත් හොඳින් සිහිය පිහිටුවා වූත්, සැප සහගත පැවැත්මකි. තුන්වන ධ්‍යානය යනු එයයි.

තුන්වන ධ්‍යානයද මනා කොට ප‍්‍රගුණ කරන ශ‍්‍රාවකයා කායික සැපය කායික දුක අත්හරී. මානසික සැපයත් මානසික දුකක් අත්හරී. එවිට කෙමෙන් කෙමෙන් ඒ සිහිය ඉතා ප‍්‍රභාශ්වර වෙයි. ඉතා පැහැදිලි වෙයි. පරිසිදු වෙයි. කිසිවෙකුට සෙළවිය නොහැකිපරිදි උපේක්ෂා සහගත ලෙස සමාධියේ පිහිටයි.

මේ ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන ශ‍්‍රාවකයා මනාකොට සමාධිය හසුරුවා ගැනීමට සමත් වෙයි. මෙසේ සමාධිමත් සිතින් යුතු ඔහු පංච උපාදානස්ඛන්ධයේ යථා ස්වභාවය නුවණින් විමසීමට පටන් ගනී. දැන් ඔහු තුළ වැඩෙන්නේ සප්ත බොජ්ජක්ධගයන්ය. සමාධිය වඩන කාලය තුළම වෙන් වෙන් වශයෙන් විදර්ශනාව වඩා පුහුණු කොට තිබීම ඉතා ප‍්‍රයෝජනවත්ය. පංච   උපාදානස්ඛන්ධයන් ගැන ධාතු ස්වභාවයන් ගැන ආයතන ගැකන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මනසිකාර කිරිමෙන් ලත් අවබෝධය මෙහිදී මහෝපකාරී වෙයි. ආර්ය සත්‍යාව බෝධය උදෙසා මනා කොට සිහිය හසුරුවන්නට පුළුවන් වන්නේ එවිටය. එය හඳුන්වන්නේ සති සම්බොජ්ජක්ධගය නමින්ය. කායානු පස්සනාව තුළින් වේදනානුස්සනාව තුළත්, චිත්තානුපස්සනාව තුළත් ධම්මානු පස්සනාව තුළත් පංචුපාදානස්ඛන්ධය පවතින බව ඔහු අවබෝධ කර ගනී, ඒ පංචුපාදනස්ඛන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්. අනාත්ම වශයෙන් රෝගී වශයෙන්, පීඩා වශයෙන් අනුන්ගේ දෙයක් වශයෙක් හිස් දෙයක් වශයෙන් නුවණින් මනාකොට විමසන විට ඒ කෙරෙහි නොඇල්ම ඇති වෙයි. එවිට ඔහු තුළ ගොඩනැගෙන්නේ ධම්ම විචය සම්බොජ්ජංගයයි. ධම්මච්චය සම්බොජ්ජසම්ඛධගය වඩන ශ‍්‍රාවකයා පටිච්චසමුප්පාද ධර්මය මනාකොට නුවණින් විමසන්නට සමක් වෙයි. හේතුඵල ධර්මය විනිවිද දකියි. හේතූන් ඇතිවීමෙන් ඵල හට ගන්නා අයුරුත් ඒ හේතූන්ම නැති වීමෙන් ඵල නැතිවන අයුරුත් නුවණින් අවබෝධ වෙයි.

මෙසේ ධම්ම විනය සම්බොජ්ජක්ධගය වඩන ශ‍්‍රාවකයා තුළ වීර්ය මැනවින් පිහිටයි. අකුසලයන් ප‍්‍රහානය කිරීම පිණිස ඉතා හොඳින් වීරිය කරයි. කුසල ධර්මයන් දියුණු කර ගැරනීම පිණිස ඉතා හොඳින් වීරිය කරයි. සමථ විදර්ශනාවේ සිහිය පිහිටුවා ගැනීම පිණිස ඉතා හොඳින් වීරිය කරයි. ආර්ය සත්‍යාවබෝධවයට මුල්වන ආකාරයට ඉතා හොඳින් වීරිය කිරීම වීරිය සම්බොජ්ජඣගයයි.

මෙසේ ආර්ය සත්‍යාවබෝධය පිණිස සිහිය පිහිටන විට, ප‍්‍රඥාව වැඩෙන විට, වීරිය වැඩෙන විට ඒ ආර්ය ශ‍්‍රාවකයා තුළ මහත් ප‍්‍රීතියක් හටගනී. ඔහු ඒ පී‍්‍රතිය තුළද දකින්නේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ දුක් වූ අනාත්ම වූ ධර්මතාවක් මිස වෙන දෙයක් නොවේ. එවිට ඒ ප‍්‍රීතිය පවා පවතින්නේ ආර්ය ෂත්‍යාවබෝධයේ අංගයක් වශයෙනි. ප‍්‍රීති සම්බොජ්ජංගය වශයෙන් හඳුන්වනුයේ එයයි. ප‍්‍රීතිමත් සිතක් ඇති විට කය සැහැල්ලූ වීම නිතැතින්ම සිදුවේ. එවිට සිතද සැහැල්ලූ වේ. ශ‍්‍රාවකයා කොතරම් බුද්ධිමත් ද යත් ඔහු ඒ සැහැල්ලූවට පවා වසඟ නොවේ. ඒ සැහැල්ලූ බවද විදර්ශනාවට හරවන්නට තරම් සමර්ථ වේ. ඒ තුළින් පංච උපාදානස්කන්ධයම දකී. එවිට ඔහු තුළ වැඩෙන්නේ පස්සද්ධි සම්බොඤ්ධගයයි. මෙසේ සමථ විදර්ශනා දෙකම බලවත්ව වැඩෙන්නේ බොජ්ජක්ධග ධර්මයන් තුලය. දැන් ඔහු තුළ තිබෙන්නේ මැනවින් සමාධිමත්වූ සිතකි. ඒ සමාධිය තුළත් අනිත්‍ය වූ පංචුපාදානස්කන්ධයක් මිස වෙන කිසිවක් නැති බවට ශ‍්‍රාවකයා දන්නා හෙයින් ඔහු පංච උපාදානස්කන්ධ දුක සමාධියක් තුළින් දකින්නට පවා සමර්ථ වෙයි. සමාධි සම්බොජ්ජගය යනු එයයි. සමාධියේ නොඇලෙන සිතේ ස්වභාවය නම් උපේක්ෂාවට පත්වීමයි. නමුත් ඔහු ඒ උපේක්ෂාවේ පවා නොඇලේ. ඒ උපේක්ෂාව තුළත් පංචුපාදාස්ඛන්ධය දකී. ත‍්‍රිලක්ෂණය දකි, මේ ආකාරයට මනා කොට සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගත් ශ‍්‍රාවකයා තුළ සප්ත බොජ්ජගයේ සිහිය පිහිටුවා ගකත් විට අවබෝධ කල යුතු වූ දුක්ඛ ආර්ය සත්‍ය වන පංච උපාදානක්ඛන්ධය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ ගර ගනී. ප‍්‍රහාරනය කළ යුතු දුක්ඛ ආර්ය සත්‍ය වන පංච උපාදානස්ඛන්ධය කෙරෙහි ඇති අවිද්‍යාවත්, තණ්හාවත් මුළුමනින්ම ප‍්‍රහාරනය කර දමයි. සාක්ෂාත් කල  යුතු දුක්ඛ නිරෝධ ආ්රය සත්‍ය වන අවිද්‍යාව දුරු වීමෙන් ලබන විද්‍යාවෙන් තණ්හාව දුරු වීමෙන් ලබන විමුක්තියත් සාක්ෂාත් කරගනී, ප‍්‍රගුණ කළ යුතු වූ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය වන ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සීල, සමාධි, ප‍්‍රඥා තුළ මැනවින් ප‍්‍රගුණ කර ගනි. එවිට ඒ ආර්ය ශ‍්‍රාවකයා විමුක්තියට පත් වූ රහතන් වහන්නේ නමකි. චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත් නිසාය ඔහු නිකෙළෙස් වූයේ. තමා ලත් විමුක්තිය ගැන ඤාණ දර්ශනයක් ද රහතන් වහන්සේට තිබේ. ඒ විමුක්ති ඥාන දර්ශනයයි. එනම්, චතුර් ආර්ය සත්‍ය ගැන පවතින කෘත ඤාණයයි.

කෘත ඤාණය යනු අවබෝධ කලයුතු දුක අවබෝධ කළ බවටත් ප‍්‍රහානය කළ යුතු දුක්ඛ සමුදය ප‍්‍රහානය කරගත් බවටත් වැඩිය යුතු නිවන් මග ප‍්‍රගුණ කොට අවසන් කළ බවටත් තමන් තුල ඇති ඤාණයයි. තමන්ගේ යළි යළි ඉපදෙන ජීවිත ගමන අවසන් වූ බවත් නිවන් මග සම්පූර්ණ කරගත් බවත්, නැවත කිසි දිනෙක සසර දුකින් නැති බවත් අවබෝධ කර ගනී.

මෙසේ සසර දුකට පත්වී සිටිය සතර අපායේ වැටි වැටී නිමක් නැති දුක් කඳුළු සෝ සුසුම් හෙළමින් ගමන් කළ සසර ගමන අවසන් කරගත හැකි වනුයේ බුදු සසුනක් තුළදීමය. බුදු සමිඳුන් පෙන්වා වදාළ නිවන් මගේ ගමන් කොට, ඒ අමා නිවන් සුව ලද රහතන් වහන්සේලා ජීවිතය අවසන් වීමත් සමගම නිත්‍ය මංගල වූ පරම සුන්දර වූ, අනුපාදා පරිනිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගනිමින් සදාකාලික සැපය වන අමා මහ නිවනට පත් වෙති.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි.

Published in: on අප්‍රේල් 27, 2010 at 11:36 පෙ.ව.  ප්‍රතිචාර (5)  
Tags: , , ,

විද්‍යාවේ මහිම – කටුකුරුන්දේ ඥාණානන්ද හිමි

.. අමාදොර ඔවුනට ඇර ඇත දී ඇත
ඇසුමට කන් ඇත්තෝ , සැදැහැ මුදා හරිත්වා1
(අරිය පරියේසන සූත‍්‍රය  මජ්. නිකාය)

බුදු බව ලැබීමෙන් පසු, බුදු ඇසින් ලොව බලා වදාළ බුදු පියාණන් වහන්සේට ලොව පෙනී ගියේ උපුල් විලක්, පියුම් විලක්  ලෙසටය. නිලූපුල් විලෙක, රත් පියුම් විලෙක, හෙළ පියුම් විලෙක, ඇතැම් නිලූපුල්, ඇතැම් රත් පියුම්, ඇතැම් හෙළ පියුම්  දියෙහි හටගෙන දියෙහි වැඞී, දියෙන් මතු නොවී, දිය තුළම ගැලී සිටිත්. ඇතැමෙක් වැඞී දිය මට්ටම හා සමව සිටිත්. ඇතැමෙක් දිය මතුපිටට පැන නැගී දියෙන් නොතැවරී සිටිත්.

විලෙක, පියුම් මෙන් ලොවෙහි ලෝ වැස්සෝ ද බුද්ධි බුද්ධි ප‍්‍රබෝධයේ විවිධ මට්ටම්වල සිටිත්. ඇතැමෙක් තියුණු නුවණ ඇත්තෝය. ඇතැමෙක් සුවසේ වටහා ගනිති. ඇතැමෙක් දුක සේ වටහා ගනිති. ඇතැමෙක් සුසිරිතට නැඹුරුවෙත්. ඇතැමෙක් දුසිරිතට නැඹුරු වෙත්.

ඒ එසේ නමුදු නොපිපි හැම උපුලක්ම පියුමක්ව සුපිපි බව කරා යන ගමනෙක යෙදී සිටිත්. එමෙන්ම, ලෝ වැසි සියලූ සත්හුද අත්දැකීම් තුළින් සාංසාරික බුද්ධියේ  අවස්ථා තුනක් ඔස්සේ විමුක්තිය කරා යන ගනමක යෙදී සිටිත්.

1. ආස්වාදය 2. ආදීනව 3. නිස්සරණය

අවිඳු ගණඳුරේ අඳ වූ ලෝවැස්සෝ නිමක් නැති උපත් විපත් වට වළල්ලෙක සැපතක් සොයා දිව යෙති. එහෙත් පසිඳුරන් පිනවන මේ සසර ..මෙරි ගෝ රවුමෙහි බියකරු බව නිසරු බව වැටහෙන මොහොතක්ද ඔවුනට එනු ඇත. එවිට ඔවුහු සසර වට වළල්ලෙන් පිටට පැන ගැනීමට මගක් සොයමින් යදිති. පුදති. කන්නලව් කරති.

අසත්‍ය කෙරෙන් මා සත්‍ය කරා ගෙන යනු මැන,

අඳුරෙන් මා ආලෝකය කරා ගෙන යනු මැන.

මරණයෙන් මා අමෘතය කරා ගෙන යනු මැන.

ඉහත දැක්වූ බුදු වදන මොවුනට නියම සැනසුම් මග හෙළි කරති.

වී නණ්ඩුව ලොකුවට පෙනෙන දෙයක් නොවේ. වී ඇටය අග යන්තමින් රැුඳී තිබෙන එය පහසුවෙන්ම ගැලවී වැටෙයි. එහෙත් එය හරිහැටි කෙළින් කර තැබුවහොත් ඒ මත තබන අත්ලක් පත්ලක් සිදුරු කර ලෙයක් මතු කිරීමට පවා එය සමත් වේ.

බුදු පියාණන් වහන්සේ වදාළ උපමාවකි මේ. වි නණ්ඩුව, දුබල හැටියට පෙනෙන අපේ මේ සිතයි. එය කෙළින් කර ගැනීම, සිත නිසි මගට යොමු කිරීමයි. සිත තනා ගැනීමයි. අත්ල පත්ල සිදුරු කිරීම, අවිඳු අඳුරු කඳ බිඳීමයි. ලෙය මතු කිරීම නුවණත්, නිවනත් පාදා දීමයි.

වී නණ්ඩුව තරමටවත් නොපෙනෙන මේ සිතෙහි සැඟවී ඇති බලමහිමය බොහෝ දෙනා නොදනිති. සිත තනා ගැනීමේ මගද නොදනිති. ඒ නිසාම අවදු ගණ අඳුරේ ගිලී දුක්බර දිවි පෙවෙත් ගෙවති. නුවණත් නිවනත් පිරිහෙලා ගනිති.

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට හෙළිකොට වදාළ සිත තනා ගැනීමේ මගෙහි කෙමෙන් සැනසුම කරා යන පියවර අටකි.

හරි දැකුම් හරි පැතුම් හරි කියුම් හරි කැරුම් හරි දිවි පැවතුම් හරි වෙර දැරුම් හරි සිහි කෙරුම් හරි එකඟ කෙරුම්

මේ එක් එක් පියවර තුළින් දුබල සිත ප‍්‍රබලව කෙළින් වේ. හරි දැකුම් තුළින් මතුවන හරි පැතුම්, හරි කියුම්, කැරුම් ඇති හරි දිවි පැවතුම් කරා අපව ගෙන යයි. හරි දිවි පැවතුම් උදෙසා කැරෙන හරි වෙර දැරිම්, හරි සිහි කෙරුම්, මතු කැරදී හරි එකඟ කෙරුම් ඇති සිතක් තනා දෙයි. නුවණත්, නිිවනත්, පාදා දෙනුයේ මේ එකඟ සිතමය.

අරි අටනි මග තුළින් සිතෙහි ඇතිවන දියුණුව, ශීල සමාධි, ප‍්‍රඥා යන පද තුනෙන් හකුළා දැක්විය හැකිය. මිසදිටුව යන ගමනේ වල්මත්ව හසරක් නොදක්නා සිත, සික පද නමැති වරපටින් බැඳ හීලද කරවනුයේ ශීලයයි. සැලෙන තැවෙන ගති සන්සිඳුවා තැන්පත් කරවනුයේ සමාධියයි. ලොව ඇති තතු වටහා දී දැනුම්වත්් කරවනුයේ ප‍්‍රඥාවයි.

පුහුදුන් සිතක් සසර මඩ වගුරෙන් ගොඩනගාගෙන ලොව්තුරා නිවන දක්වාලන මහා වැඩපිළිවෙළේ රැුක්ම ශීලයෙන් සැළසේ. නැග්ම සමාධියෙන් සිදුවේ. දැක්ම ප‍්‍රඥාවෙන් ඉටුවේ.

තෙ රුවන තැන්පත් කළ හද මැදුරෙහි තැනෙන ධර්ම චෛත්‍යයේ පදනම ශීලයයි. බඳ සමාධියයි. කොත ප‍්‍රඥාවයි.

සතුරෙකුටවත් කළ නොහැකි තරම් විපතක්, නොමගට යොමු වූ තමාගේම සිත තමාට සිදුකරන බව බුදු පියාණෝ පෙන්වා දුන්හ. හරි දැක්මෙන් තොර සිත පවට බරය. පිනට හොරය. දුක, දොම්නස, අසහනය, පීඩනය එතැනය. මිහිපිටම අපායය.

මවකට. පියෙකුට වත් කළ නොහැකි තරම් සෙතක් සුමගට යොමු වූ තමාගේම සිත තමා ම සිදු කරන බවද එසේම පෙන්වා දුන්හ. හරි දැක්මට අනුව සීරුවෙන් කෙළින් වන එම සිත පිනෙන් බරය. පවෙන් තොරව, සැප සොම්නස, සහනය, දැහැනය, එතැනය. මිහිපිටමැ සුරපුරය බඹ ලොවය නිවනය.

මව්පියන් වැන්නේ

නෑසියන් නොම කරනේ

සෙත මෙමට සදනේ

හොඳට යොමුකළ මගේ සිතනේ (චිත්ත වග්ග ධම්ම පදය)

කුස ගින්නත්් දිළිඳු බවත් ජය ගනිමින් මිනිස් සංහතිය රැුක ගැනීමේ අරමුණ ඇතිව ඇරඹුණු වගා ව්‍යාපාර, වගා සංග‍්‍රාම, බවට පත්වී ඇත. මුඩු බිම් අස්වද්දමින් හැම බිම් අඟලක්ම වගා කරමින් වගා සංග‍්‍රාමය ඉදිරියට යන්නේ නවෝදයක සුබ සිහින මවා ගනිමිනි. එහෙත් ඒ සිහිනය සැබෑ කර ගැනීමට නම් ..මිනිස්කමද.. නොනසා රැුක ගත යුතු වේ. මිනිසත්කම රැුකෙන්නේ ගුණ වගාව තුළිනි.

ගුණ වගාව නොතකා හැරි කළ නොමිනිස්කම් ඉස්මතු වේ. වගාවේත්, ගොවිපළේත්, .. අහිංසක.. බව දුරු වේ. තිරිසන් ලොව ආදර්ශයට ගෙන එකිනෙකා ගොදුරු කර ගැනීමට පෙළඹේ. එහි ප‍්‍ර‍්‍රතිඵලයක් වශයෙන් නවෝදයක් වෙනුවට දැකිය හැකි වනුයේ මිලේච්ජ යුගයක පුනරුදයකි.

කිසිත් ..තෙතමනයක්.. නැති මුඩු සිත් පවා අස්වද්දාගත හැකි බුදු පියාණෝ හෙළිකර දුන්හ. ..ගුණ වගාව.. උන්වහන්සේගේ ..ජීවිකාව විය.

දිනක් කසී භාරද්වාජ බමුණා සී සාන තැනට පිඩු සිඟා වැඩිය උන්වහන්සේට ඒ බමුණා අභියෝගයක් ඉදිරිපත් කළේය.

මහණ, මම සී සාමි, වපුරමි. සී සා වපුරා වළඳව.

බුදුපියාණන් වහන්සේ ඊට දුන් පිළිතුර මෙසේය.

..බමුණ, මමත් සී සාමි, වපුරමි, සී සා වපුරා වළඳමි.

ඒ අසා විමතියට පත් බමුණා , මෙසේ කීය.

.. අපි භවත් ගෞතමයන්ගේ නගුලක්, හී වැලක්, කෙවිටක්, ගෙරි සරක් නොදකිමු. එසේ වුවුද භවත් ගෞතම මෙසේ කියයි. මම ද බමුණා සී සාමි. වපුරමි. සී සා වපුරා වළඳමි. එවිට බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ ගේ ගොවිතැනත්, ගොවි උපකරණත් මෙසේ හෙළිකොට වදාළහ.

.. සද්ධාව බිත්තර වී යයි. තපස වැසි දියයි. ප‍්‍රඤ්ඤාව මගේ විය ගහයි. නගුලයි.

වීරුය නගු ලීයයි. මනස සොතයි.

සතිය මගේ හී වැලයි, කෙවිටයි. නිවන මගේ අස්වැන්නයි.

කසීභාරද්වාජ සූත‍්‍රය (සුත්ත නිපාතය*

රෝහලක පරමාර්ථය සුවය ලබා දීමයි. වෙද හෙදි උපස්ථායකාදීන් ඒ ඒ රැුකියාවනට පුහුණු කරවනුයේද සමාජයේ සෞඛ්‍ය සුවසෙත පරමාර්ථය කර ගෙනය. ඔවුන්ගේ යුතුකම විය යුත්තේ රෝගීන් කරවීමය. රෝගය පිළිබඳව ඇති ප‍්‍රකට ආදර්ශ පාඨයද මෙසේය.

..රෝග නිවාරණය ප‍්‍රතිකාරයට වඩා හොඳය.

ඒ කෙසේ වෙතත් මේ වගකීම හරි හැටියටම ඉටු කිරීමේදී යම්කිසි පරස්පර විරෝධී තත්වයක් පැන නොනගීද? එහි පරමාර්ථයට අනුකූලව ක‍්‍රියා කරතොත් ඔවුන්ට තම රැුකියා අහිමිවීමේ තර්ජනයක් එල්ල නොවේද? පමණට වඩා ඉක්මනින්.. රෝගීන් කොහෙත්ම නොපැමිණොත්, රෝහලේ සේවක පිරිසට උග‍්‍ර රැකියා ප‍්‍රශ්නයකට මුහුණ පෑමට සිදු නොවන්නේද? ඉහත කී ආදර්ශ පාඨය පහත දැක්වෙන පරිදි වෙනස් කිරීම නුසුදුසුද?

..රෝග නිවාරණය ප‍්‍රතිකාරයටද වඩා නරකය.

මේ කියමනෙහි යම් විපරිත බවක් පෙනෙන නමුත් බුදුරජාණන් වහන්සේ එක් සිහි කටයුතු උදෑසනක ප‍්‍රත්‍යක්ෂයෙන් .. අවදි වූ ආර්ය සත්‍යයද මෙවැන්නකට තුඩු දෙන්නකි.

මුලූ ලොවම රෝහලකි.

මේ අමිහිරි වූ සත්‍ය ලෝකයාට රුචි නොවන නිසා අසමසම වෙදැදුරුතුමාණෝ මුලදී එය දේශනා කිරීමට පසුබට වූහ. ..මෙගොඩ වෙදුන් .. එය ඇදහීමට සූදානම් නැති බව එතුමෝ තේරුම් ගත්හ. රෝගය මුළුමනින්ම සුව කිරීමේ වැඩපිළිවෙළ ඇරඹුවොත්, මුළු රෝහල් සේවක මඩුල්ලම වැඩ වර්ජන තර්ජන ඉදිරිපත් කරන බවද මැනවින් දින සිටියහ. රෝහල් සංවිධානය අවුල් කිරීමේ චෝදනාව තමන් වෙත එල්ල වන බවද දත්හ.

ඇත්තෙන්ම සිදුවූයේද වැන්නකි. ලෝකානුකම්පාව නිසා අන්තිමේදී ධර්මය දේශනා කිරීමට තීරණය කර, ලෝ රෝහලේ තම ලොවුතුරු සෞඛය වැඩපිළිවෙළ දියත් කළ විට බුදුන් වහන්සේට දැඩි විරෝධතා ඉදිරිපත් විය. තම සමාජ තත්වය රැුක ගැනීමට උනන්දු වූ ඇතැමුන්ගේ සාමාජික, ආර්ථික දෘෂ්ටි කෝණවලට අනුව නම් බුදුරජාණන් වහන්සේ කර ඇත්තේ නිරවුල් ලොව අවුල් කිරීමකි.

සිහසුන් හිස්වුණි. යුදසෙන් විසුරුවා හැරුණි, අනියම් ධන ඉපැයුම් මං ඇසුරුණි. මස්කඩ, තැබෑරුම්, ගණිකා නිවාසාදියට ද සදහම් පිළිවෙත් මගින් පහර වැදුණි. කසාවතෙහි වශී බලයෙන් මවුපියන්ට තම සුරතල් දරුවා අහමි විය. සැමියා බිරිඳගෙන් වෙන් විය. බිරිඳ සැමියාගෙන් වෙන් විය.

කරුණු මෙසේ හෙයින් දැඩි උද්ඝෝෂණ බුදුරජාණන් වහන්නෙස් වෙත එල්ල වීම පුදුමයක් නොවේ.

ශ‍්‍රමණ ගෞතමයෝ මවුපියනට ¥ පුතුන් අහිමි කරවන්නෙකි. ශ‍්‍රමණ ගෞතමයෝ වැන්දඹු බව ඇති කරවන්නෙකි. ශ‍්‍රමණ ගෞතමයෝ පෙළපත් නසන්නෙකි.

බුදුරජාණන් වහන්සේ ඒ උද්ඝෝණයට පූතිචාර දැක්වූයේ මේ සාධාරණ පිළිතුරෙනි.

..මහාවීර වූ තථාගතවරුද ජනයා සද්ධර්මයෙන්ම යොමු කරවා ගනිත්. ධර්මයෙන් යොමු කරවන කල නුවණැත්තන්ට කවර නම් ඊර්ෂ්‍යාවක් ද?

අසමසම වෙදැදුරුතුමා සැළකිළිමත් වූයේ සත්වයාගේ සාංසාරික බුද්ධි මට්ටම පිළිබඳවය.

මාරයාගේ රාජධානියෙන්, සසර යළි උපත්, විපත්, වට වළල්ලෙන් එක් සත්වයෙකු හෝ මුදා ගත හැකි වේ නම් එතු මෝ ඔහු සොයා ගොස් ප‍්‍රතිකාර කළහ. නියම වගකීමකින් යුතු අවංක වෛද්‍යවරයෙකු මෙන් බුදු වෙදැදුරුතුමා ද තම යුතුකම වශයෙන් සැළකුවේ රෝගීන්ට වහාම ප‍්‍රතිකාර කිරීමත්, ඔවුන්ට පූර්ණ සුවය ලබා දීමත, හැකි ඉක්මනිින් යළින් නොඑන්නට ඔවුන් ..ටිකට්.. කප්පවා  රෝහලෙන් නිවන් නිවහනට පිට කිරීමත් ය.

පහත් දහමත් නොසොයවූ

පමාවෙන් කල් නොයවවු

මිසදිටුව නොගනිවු

ලෝ වඩන්නෙකු බවට නොවැටෙවු (ලෝකවග්ග ධම්ම පද)

කටුකුරුන්දේ ඥාණානන්ද හිමි

Published in: on අප්‍රේල් 19, 2010 at 3:54 ප.ව.  ප්‍රතිචාර (4)  

විද්‍යාවේ මගට පිවිසෙමු – වතුරුගම නන්දසිරි හිමි.

සබ්බේ ධම්මා අනත්තානි  යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති   එස මග්ගෝ විසුද්ධියා

මෙම ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ යථාර්ථය අවබෝධ නොවීම නිසා විඳින්නා වූ දුක කුමක්ද කියා පැහැදිලිකර දීමටයි. සම්මා ධම්මා අනත්තානි. සියලූම ලෝක ධර්මයන් අනාත්ම බව යම් අවස්ථාවක දැන ගන්න පුළුවන් වුණොත් ඒ දර්ශනයෙන් දුක නැති කර ගැනීම සඳහා නිවන් මාර්ගයට පත්විය හැකි සබ්බේ ධම්මා යන ප‍්‍රකාහනය තුළ සියලූම ලෞකික ධර්ම ඇතුළත් වෙලා තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්ච්ා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනත්තා කියලා ත‍්‍රිලක්ෂණය පිළිබඳව සඳහන් වෙනව. සියලූම සංස්කාර ධර්මයන් ඇතිවන නැතිවන ස්වභාවයෙන් හෙවත් විපරිනාම ස්වභාවයෙන් යුක්තයි. අන්න ඒ විපරිනාම ස්වභාවය තමයි අනාත්ම කියල හඳුන්නු ලබන්නෙ. මෙම දර්ශනවය ප‍්‍රඥාවෙන්ම දැක ගත යුතු බවත් ඒ ගාථාවේ සඳහන් වෙනවා. (යදා පඤ්ඤාය පස්සති) බුදුරජාණන් වහන්සේ මෙම ප‍්‍රඥාව ලබා ගැනීම සඳහා පියවර තුනක් ඉදිරිපත් කරල තියෙනවා, සීල, සමාධී, ප‍්‍රඥා යනුවෙන්. පළමුව සීලයක් පිහිටල දෙවනුව චිත්ත ඒකාග‍්‍රතාවය තුළින් සම්මා සමාධිය ඇතිකරගෙනයි ප‍්‍රඥව ලබා ගන්න පුළුවන්කම තියෙන්නෙ. ඒ ප‍්‍රඥාව තුළින් තමා යථාර්ථය හෙවත් සියලූ ලෝක ධර්මයන්ගේ අනාත්ම ස්වභාවය දකින්න පුළුවන්කම තියෙන්නෙ. ඒ ප‍්‍රඥව තුළින් තමයි යථාර්ථය හෙවත් සියලූ ලෝක ධර්මයන්ගේ අනාත්ම ස්වභාවය දකින්න පුළුවන්කම තියෙන්නෙ. ධර්මය දැකපු කෙනෙක් ළඟට ගිහිල්ල ධර්මය ශ‍්‍රවණය කරල යෝනිසෝ මනසිකාරයෙන් ලෝක ස්වභාවය දැනගෙන එය වැඩිය යුතු බව සඳහන් වෙනව. සත් පුරුෂ සංසේවනය සද්ධර්ම ශ‍්‍රවණය යෝනිසෝ මනසිකාරයෙන් ලෝක ස්වභාවය දැනගෙන එය වැඩිය යුතුබව සඳහන් වෙනව. සත් පුරුෂ සංසේවනය සද්ධර්ම ශ‍්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම සම්පත්තිය යන මේ කාරණා සතර භාවිතා   බහුල කතා කිරීමෙන් හෙවත් නැවත නැවත වැඞීමෙන් තමයි යථාර්ථය හෙවත් සම්මා දිටිඨිය ඇති කර ගන්න පුළුන්කම තියෙන්නෙ. කුමක්ද මේ යථාර්ථය කියල කියන්නෙ. ඒ ලෝක ධර්මයන්ගේ ස්වභාවයයි. ලෝක ධර්මයන්ගේ ස්වභාවය කියල කථාකරන කොට සුද්ධ ධම්මා පවත්තන්තී ඒ සේවං සම්මාදස්සනං යන දේශනා පාඨය සිහිපත් වෙනව. මේ සුද්ධ ධර්මයන්ගේ පැවැත්ම තමයි අනාත්ම කියල සඳහන් කරන්නෙ. පවතිනවා කියන වචනයේ තේරුම ඇති වෙනවා නැතිවෙනවා. හෙවත් සපරිනාම ධර්මයන්ගෙන් යුක්තයි. වෙනස් වන සුළුයි. මේ වෙනස් වන සුළු බව වේගවත්ව සිද්ධවන නිසා නාම රූප කියන ස්වභාවයක් දකින්නට ලැබෙනව. මෙම නාම රූප ධර්මයන්ගේ මූල ශක්තිය පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ යන ධාතු හයයි. පඨවි ආපෝ තෝජෝ වායෝ යන සතර රූපධර්මයන්ගේ මූල ශක්තියයි. විඤ්ඤාණය නාම ධර්මයන්ගේ මූල ශක්තියයි. මෙම නාම රූප පැතිරී පවතින හිස් ඉඩ ආකාස ධාතුවයි. මෙම බල ශක්තීන් හය තමයි සුද්ධ ධර්ම, මූල ධර්ම, හෙවත් ධාතු වශයෙන් පෙන්වල තියෙන්නෙ. මෙතන තියෙන්නෙ ශක්තියක්. ශක්තියක් ඇතිවීමට නම් වේගයක් තිබිය යුතුයි. වේගයෙන් තමයි ශක්තියක් ඇති වෙන්නෙ. මොකක්ද මේ වේගය කියල කියන්නෙ. වේගය කියන්නෙ චලනය. චලනය කියල කියන්නෙ ඇතිවීම. නැතිිවීම හෙවත් වෙනස් වන සුලූ බවයි.

මේ වේගය නිසා තමයි ධාතූන්ට ශක්තියක් ඇති වෙලා තියෙන්නෙ. නාම රූප ඇති කරීම සඳහා තද ගතිය, දියාරු ගතිය, උණුහුම් ගතිය, හමායන ගතිය, හෙවත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු සතර එකට එකතු වී වේගවත්ව පවතින අවස්ථාවේදී අප රූප කියන නම පාවිච්චි කරනවා. මෙම ධාතු සතර කිසිම විටෙකවත් වෙන්ව පවතින්නේ නෑ, වෙන් කරන්න පුලූවන් කමකුත් නෑ. එක සමව එකතු වී පවතින්නෙත් නෑ. කුමක් හෝ එකක් වැඩිපුර තියෙනව. තද ගතිය වැඩිපුර ඇතිව වේගවත්ව පවතින විට අපි ද්‍රව්‍ය කියනව. දියාරු ගතිය වැඩිපුර ඇතිව වේගවත්ව පවතින විට ද්‍රව කියල කියනව. උණුසුම් ගතිය වැඩිපුර ඇතිව වේගවත්ව පවතින අවස්ථාවේදී වාතය හෙවත් සුළඟ කියල කියනව. මේ ද්‍රව්‍ය, ද්‍රව , ගිනි, සුළං, යන මේවාට රූප කියල කියනව. මේවා නිතරම ඇතිවෙමින් නැතිවෙමින් විපරිනාම ස්වභාවයෙන් යුක්තව පවතිනවා. නාමය සදාතනිකව හැමදා ලෝකයෙහි පවත්නා වූ ධර්මයක්. තව සුද්ධ ධර්මයක් හෙවත් ධාතුවක් පවතිනවා විඤ්ඤාණය කියලා. එයද වේගයෙන් ඇතිවෙමින් නැතිවෙමින් විපරිනාම ස්වභාවයෙන්

පවතින ධර්මතාවක්. නාම රූප සංකලනයෙන් සිතක් ඇති කරන්නේ මෙම විඤ්ඤාණ ධර්මයයි. මෙම විඤ්ඤාණ ධර්මයද සදාතනිකව පවත්නා වූ ධර්මතාවයක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ස්වභාව ධර්ම සතරෙන් රූප ඇතිවන අතර විඤ්ඤාණ ධර්මතාවයෙන් නාම ධර්ම ඇතිවී නාම රූප සංකලනය වී සිතක් සකස් වෙනව. මෙම නාම රූප පැතිර පවත්නා හිස් ඉඩමයි. ආකාශය කියල කියන්නෙ. මේ ආකාශ ධාතුවත් ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා වූ විපරිනාම ධර්මයක්. වෙනස් වන සුලූ ධර්මතාවක් කොහොමද මේ ආකාශය වෙනස් වෙන්නෙ. ඇතිවූ නාම රූප නැතිවෙනකොට ආකාශය ඇති වෙනව. මේ ආකාශයත් ඉතා වේගයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ නැවත නාම රූප ඇතිවෙන කොට ආකාශය හෙවත් හිස් බව නැති වෙනවා. නාම රූප ඇතිවෙන විට හිස් බව නැති වෙනව. අනිත්‍ය නිසා දුකයි කියන තැන පවතින්නෙ හිස් බවකි. හිස් බවක් පවතින ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා එයද වේගයෙන් වෙනස් වෙනව. මේ නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම විපරිනාමය හෙවත් අනාත්මය කියන්නෙ මෙයයි. ලෝකය අනිත්‍යයයි. දුකයි. අනාත්මයි. එතකොට මෙතන තියෙන්නෙ ඇතිවෙනව. නැතිවෙනව. මෙන්න මේ විපරිනාම ධර්මතාවයි අනාත්මය කියල පෙන්නුම් කරන්නෙ.

මේ වෙනස් වීම පෘථග්ජන පුද්ගලයින්ට හෙවත් ගැඹුරු ප‍්‍රඥාවක් නැති අයට ලෝකය බලය කොට නිත්‍ය ස්වභාවයක් පේනවා. උදාහරණයක් වශයෙන් දක්වතොත් ටැංකියක ජලය පුරවල තියෙනවා. එම ටැංකිය දෙපැත්තෙන් බට දෙකක් සවිකරල තියෙනවා. නිතරම එක බටයකින් ජලය අස්කරනවා. අනික් බටයෙන් ජලය රැුස් කරනව. මෙය ඉතා වෙීගයෙන් සිදුවෙනව. ඒ නිසා නිත්‍ය වූ ස්්ථිර වූ  නිත්‍ය වූ ජල කඳක් මෙතන නෑ. මේ බට දෙක ගැන නොදන්නා කෙනෙක් කියන්න පුළුවන් මෙතන ස්ථිර වූ නිත්‍ය වූ ජල කඳක් තියෙනව කියල. නමුත් මේ බට දෙක ගැන දන්නා කෙනා එය පිළිගන්නේ නෑ.

ඔහු දකින්නෙ වෙනස්වන සුළු ජලයක් පමණයි. සියලූම ලෞකික ධර්මයන් පිළිබඳවම කියන්න තියෙන්නෙ මේ ටිකයි. ඇතිවීම නැතිවිම හෙවත් වෙනස්වන සුළු බව ප‍්‍රඥාවෙන් දුටු අයට ලෝක ධර්ම ආත්ම වශයෙන් ගන්න බැහැ. ඒ අය දකින්නෙ හැම ලෝක ධර්මයකම අනාත්ම ලක්ෂණයයි. එතකොට මේ පැවැත්ම කියල කියන්නෙ කුමක්ද? වේගයෙන් ඇතිවෙනව නැතිවෙනව. ඇතිවෙනව නැතිවෙනව කියන ස්වභාවයයි සුද්ධ ධර්මයන්ට නාම රූප ඇති කිරීමට ශක්තියක් ඇති වෙලා තියෙන්නෙ. මේ වේගය හෙවත් වෙනස් වන සුළු බව නිසයි. මේ සුද්ධ ධර්මයන්ගේ වේගවත් පැවැත්ම තමයි ලෝකය කියල කියන්නෙ. එතකොට ලෝක ස්වභාව පිළිබඳව කථා කරන විට අපට අවසානයේ නතර වෙන්න සිද්ධ වෙන්නෙ වේගය ළඟයි. වේගය යනු චලනයයි. චලනය යනු ඇති වෙමින් නැතිවෙමින් පැවැත්මයි. සුද්ධ ධම්මා පවත්තන්ති කියන්නෙ මෙන්න මේකයි. මෙම විපරිනාම ධර්මතාවය වෙනස්වන සුළු බව හෙවත් පැවැත්ම සදාතනිකයි. මෙන්න මේක තමයි නිත්‍යතාවය. එතකොට නිත්‍යතාවය යනු කුමක්ද? වෙනස්වන සුළු බව හෙවත් අනිත්‍යතාවයයි. මේ සත්‍ය නොදැනීම තමයි අවිද්‍යාව කියල කියන්නෙ. අවිද්‍යාව කියල කියන්නේ ලෝක ධර්මයන් නිත්‍යයි, සුඛයි ආත්මයි යන දිට්ඨියයි. ලෝක ධර්මයන්ගේ ස්වභාවය හෙවත් යථාර්ථය නම් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. යම් අවස්ථාවක මේ ලෝක ධර්ම පිළිබඳව නිත්‍යයි කියන වැරදි දිට්ඨිය ඇතිවුණා නම් ආත්ම දිට්ඨිය හෙවත් අවිද්‍යාව එයයි. සක්කාය දිට්ඨිය නමින් ද එය හඳුන්වනු ලබනවා. කාය යනු විඤ්ඤාණ නාම රූප හෙවත් ලෝකයයි. සත් යන නිත්‍යයි යන පිළිගැනීම හෙවත් දිට්ඨියයි.

මේ වැරදි දිට්ඨිය නිසා අරමුණු ගැනීමක් සිදුවෙනව. කොහොමද එය සිදු වන්නෙ. රූප ධර්ම තියෙනව ආධ්‍යාත්මික රූප සහ බාහිර රූප කියල කොටස් දෙකක්. ආධ්‍යාත්මික රූප තමා තුළ පවත්නා ඇස, කන, දිව, නාසය, කය මන යන රූප හයයි. මේවාට ආයතන කියලත් කියනව. මෙම ආධ්‍යාත්මික ආයතන කියන්නේ මම හෙවත් ආත්ම දිට්ඨිය තුළයි. ආත්ම දිට්ඨිය කියන්නෙ ලෝකය නිත්‍යයි කියා පිළිගැනීමයි. ඒ කියන්නෙ අවිද්‍යාවයි. එසේ නම් මෙම ආයතන පවතින්නෙ ආත්ම දිට්ඨිය තුළ හෙවත් අවිද්‍යාව තුළයි. මේ මමත්වය තුළ ඇති ආයතනවල බාහිර රූප ඇද ගැනීමේ ශක්තියක් හෙවත් ඔපවත් බවක් පවතිනවා. එයට ප‍්‍රසාද රූප කියල කියනව. මේ ශක්තියෙන් බාහිරව පවත්නා රූපයන්ගේ ඡුායාව ඇදගන්නවා. දැන් මෙතන පවතින්නෙ පඨවි, ආපෝ, තේජෝ, යන ස්වභාව ධර්මයන්ගේ වේගවත් පැවැත්මෙන් හටගත් රූප ධර්ම සමූහයක් පමණයි. සත්වයෙක් පුද්ගලයෙක් යමෙක් නැත. රූප සමූහයක් දෙපැත්තෙ තියෙනව. ආධ්‍යාත්මික රූපවල පවතින ඔපවත් ගතියෙන් බාහිර රූප ධර්මයන්ගේ ජායාව ඇදගන්නවා. එතන දෙකක් එකතු වෙනව. බුදු පියාණන්වහන්සේ ද්වය සූත‍්‍රයේදී සටන් කරනව. මහණෙනි දෙකක් එකතු වූ තැන විඤ්ඤාණය හටගන්නව කියල. විඤ්ඤාණය කියන්නෙ සිතක් ඇති කිරීමේ ශක්තියටයි. මේ ශක්තිය ක‍්‍රියාත්මක වන්නේ ආධ්‍යාත්මික ආයතනයන්ට අරමුණක් සම්බන්ධ වූ අවස්ථාවේ හෙවත් දෙකක් එකතු වූ අවස්ථාවේදීයි. මේ විඤ්ඤාණය හටගන්නෙ නාම ධර්ම පහකුත් සමගයි. ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, මනසිකාර, යනු ඒ නාම ධර්ම පහයි.

මේවාට  සම්බන්ධ චිත්ත සාධාරණ චෛතසික කියලත් කියනව. එසේ කියන්නෙ සෑම සිතක්ම සකස් කිරීමට මේ නාම ධර්ම පහ අත්‍යවශ්‍ය නිසයි. මේ නාම ධර්මයන්ගෙන් එකක් හරි අඩුවුණොත් සිතක් සකස් වෙන්නේ නැහැ. මේ නාම ධර්ම වලට අයත් වෙන වෙනම කාර්ය භාරයක් තියෙනවා. ඵස්සයේ කාර්ය වන්නේ රූපය පිටත රූපය සහ විඤ්ඤණය යන තුනම ස්පර්ශ කර ගැනීමයි. ..චක්ඛුංච පටිට්ච රූපේච උප්පච්ඡුති චක්ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ.. ඵස්ස ක‍්‍රියාත්මක වන අවස්ථාවේදී ඇතුළ පිට රූප සහ විඤ්ඤාණය යන තුනම එකතු වෙයි. එතකොට ඵස්සය තුළ රූප විඤ්ඤාණ දෙකම තියෙනවා. ඵස්සය නාමයක් නිසා විඤ්ඤාණ නාම රූප තුනම ඵස්සය තුළ තියෙනවා. ඒ නිසා බලවත්ම නාම රූපය ඵස්සයයි. රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ඨබ්බ රූප, ධම්ම රූපාදී කවර රූපයක් හෝ ග‍්‍රහණය කර ගැනීම ඵස්සේ කාර්ය භාරයයි. මනසිකාරයේ කාර්යභාරය වන්නේ ඵස්සයෙන් ග‍්‍රහණය කරගත් රූපය අනික් නාම ධර්ම වලට යොමු කිරීමයි. ඵස්සයෙන් ග‍්‍රහනය කරගත් රූපය වේදනාවට යොමුකර දුන් පසු වේදනාවෙහි කාර්යය වන්නේ එය පිළිගැනීමයි. මෙහි පවතින පිළිගැනීම තුළ ඇත්තේ කැමති බව හෝ අකමැති බව පමණයි. ඊළඟට සඤ්ඤාවට යොමුකළ පසු සඤ්ඤාවෙහි කාර්යය වන්නේ එම රූපය හඳුනා ගැනීමයි. ඉන්පසු මනසිකාරයෙන් එම රූපය චේතනාවට යොමුකළ පසු ක‍්‍රියාත්මක බවට පත්වෙයි. ..චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.. කියා වදාළේ එම නිසයි. මේ චේතනාව තණ්හාවෙන් යුක්ත නම් භවගාමී කම්මයක් සකස් වෙනව. චේතනාව තණ්හාවෙන් හා ආත්ම දිට්ඨියෙන් තොර නම් එතැන ඇත්තේ ක‍්‍රියාවක් පමණයි. මෙම නාම ධර්ම ක‍්‍රියාත්මක වී අවසන් වන විට තමයි සිතක් සකස් වන්නේ. දැන් එතකොට සිතක් කියන්නේ කුමක්ද? ඇස සම්බන්ධව රූපයක් ස්පර්ශ කරගත් අවස්ථාවේදී ඇතිවුණා වූ විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණයයි. ඒ චක්ඛු විඤ්ඤාණයත් සමගම ඇති වූ නාම ධර්මයන් අතර පවතින චේතනාව ක‍්‍රියාත්මක වන විට බලනවා කියන ක‍්‍රියාව සිදුවෙයි. කන සම්බන්ධව නම් අහනව, නාසය සම්බන්ධව නම්, ආඝාණය කරනව. දිව සම්බන්ධව නම්, ස්පර්ශ කරනව. මනස් සම්බන්ධව නම් සිතනව. මෙන්න මේ ආයතන හයෙන් සිදුකරන්නා වූ ක‍්‍රියා තමයි අපි සිත්  කියල ක‍්‍රියාත්මක කරන්නෙ. ආයතන කියන්නෙ යමක් නිෂ්පාදනය කරන තැනක්. එතකොට චක්ඛු සෝතාදී ආයතන වලින් නිෂ්පාදනය කරන්නෙ සිත්. සිත් කියන්නෙ ක‍්‍රියා. සිත් වලට ක‍්‍රියා කියල කියන්නෙ සිතකින් තොරව කිසිවක් කරන්න බැරි නිසා. සියළුම සිත් ඇතිවෙන්නේ මේ ආයතන හය තුළින්. මෙයට අමතර වෙනත් තැනකින් සිත් ඇතිවෙන්නේ නෑ, සබ්බ සූත‍්‍රයෙහි සබ්බ කියන වචනයෙන් සඳහන් වන්නෙ මේ ආයතන හයක්. ඒවාට ගෝචර වන රූපාදී අරමුණක් පිළිබඳවයි.

එතකොට ඒ විඤ්ඤාණය වන්නා වූ සිත්වල මොනවාද තියෙන්නෙ කියල අපි ආයෙ සැරයක් පරීක්ෂා කරල බලමු. අපි මුලින් පෙන්වා දුන්න පඨවි, ආපෝ, තේජෝ වායෝ යන සුද්ධ ධර්මයන් එකට එකතුව වේගවත්ව වෙනස් වෙමින් පවතින විට  රූප ඇති වන බව. මේ පැවැත්ම ස්වභාව ධර්මයක් නිසා මෙය කිසිවෙකුට නවත්වන්න බැහැ. එසේව විඤ්ඤාණ ධාතුව නාම ධර්ම සමග ඇතිවී රූප ධර්ම සමග එකතුව සිත් උප්පද්දනවා.

එයද ස්වභාවික සිද්ධියක් නිසා කාටවත් නවත්වන්න බැහැ. ඒ විඤ්ඤාණ නාම රූප හෙවත් පඤ්ච උපාදානස්කන්ධය පැතිරී පවතින හිස් ඉඩම ආකාස ධාතුව කියල කියනව. ආකාස ධාතුවත්, ඇතිවෙමින් නැතිවෙමින් පවතින්නා වූ සුද්ධ ධර්මයක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස විඤ්ඤාණ යන මේවාට ධාතු කියල කියනව. මේවා විපරිනාම ධර්මතාවයෙන් යුත්තව වේගයෙන් වෙනස් වෙමින් පවතින දේවල්. මේවාට නාම රූපයක් ඇති කිරීමේ ශක්තියක් ලැබිල තියෙනව. මෙම වේගය නිසා රූප ධර්ම දෙක්ක එකට එකතු වෙනවාත් සමගම නාම ධර්ම පහක් සමග විඤ්ඤාණය හටගන්නව. මෙහි පෙර පසුවීමක් පෙනෙන්නෙ නැහැ. විඤ්ඤාණ නාම රූප හටගන්නා එකටමයි. මෙය ගින්නකත් හටගන්නව වගේ කියලයි දේශනාවේ සඳහන් වෙන්නෙ. විඤ්ඤාණ පච්චයා නාම රූපං නාම රූප පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණය නිසා නාම රූපයක් නාම රූප නිසා විඤ්ඤාණයත් පවතිනව කියන්නෙ මේ න්‍යාය ධර්මයයි.මේ නාම ධර්ම පහෙහි සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියල කියන්නේ. ඵස්ස, වේදනා, පඤ්ඤා චේතනා මනසිකාර යන ඒ නාම ධර්ම පහයි. ඵස්සය තමයි මෙතන බලවත්ම නාම ධර්මය ඵස්සය තුළ විඤ්ඤාණ නාම රූප තුනම පවතිනව වේදනාව හෙවත් විඳ ගැනීම තුළ වේදනාව පවතිනව. හඳුනාගැනිම හෙවත් සංඥාව තුළ සංඥාව පවතිනව. හඳුනා ගැනීම හෙවත් සංඥාව තුළ සංඥාව පවතිනව. චේතනාව කියල කියන්නෙ කර්ම සකස් වීම හෙවත් ක‍්‍රියාත්මක බවයි. එබැවින් චේතනාව තුළ සංඛාර පවතිනව. මනසිකාරයෙන් කරන්නෙ නාමයන්ගෙ කාර්ය භාරයට උදව්විමක් පමණයි. එතකොට මේ නාම ධර්ම පහ සිය කාර්ය භාර්ය අවසන් කරන විට අපට මොනවද ලැබෙන්නෙ? රූප වේදනා, සංඥා, සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ පහයි. මෙය ආත්ම දිට්ඨිය හෙවත් මමත්වය තුළින්ම ඇතිවූ නිසා පඤ්ච උපාදානස්කන්ධය කියල කියනව. හැබයි මෙහි මුල් අවස්ථාව පිරිසිදු බව සඳහන් වෙනව. දැන් එතකොට සිතක් කියල කියන්නෙ පඤ්ච උපාදානස්ඛන්ධකටයි. මෙහි පවත්නා නාම ධර්ම පහේ ඵස්සය තුළ විඤ්ඤාණ නාම රූප තුනම පවතිනව. තුනක එකතුවටයි ඵස්ස කියන්නෙ. වේදනාව තුළ වේදනාව තියෙනව. පඤ්ඤා නැමති නාමය තුළ පඤ්ඤාව තියෙනව. චේතනාව තුළ කර්ම හෙවත්  සංඛාර පවතිනව. දැන් සිත තුළ පවත්නා නාම ධර්ම ක‍්‍රියාත්මක වන විට පඤ්ච උපාදානස්කන්ධය සකස්වෙන අයුරු පැහැදිලියි නේද? දැන් සිතක් කියල කියන්නෙ පඤ්ච උපාදානස්කන්ධය හැර වෙනත් දෙයක් නොවෙයි කියලත් කියන්න පුළුවනි. මේ සිත සකස් වුනේ කොහොමද කියලා නැවත මොහොතකට මුලින් ගිහින් බලමු. අවිද්‍යාව හෙවත් වරදවා දැකීම නිසා ලෝක ධර්මයන් නිත්‍යයි කියල දකිනව. ඒ තුළින් ආයතනයන්ට අරමුණු සම්බන්ධ වෙනව. ඒ කියන්නෙ දෙක එකතු වෙනව. එවිට නාම ධර්ම පහක් සමග විඤ්ඤාණය හට ගන්නව. විඤ්ඤාණය කියන්නේ සිතක් ඇති කිරීමේ ශක්තිය. එම ශක්තිය ඇතිවෙනවාත් සමගම සිතක් ඇති වෙනව. මේ සිත තුළ පඤ්ච උපාදානස්කන්ධය පවතිනව. පඤ්ච උපාදානස්කන්ධයෙන් තොර සංකාරයක් නැහැ. ඒ නිසා සබ්බේ සංඛාරා කියන්නෙ සිතයි. අවිජ්ජා පච්චයා සංඛාරා අවිද්‍යාව නිසා සංඛාර හටගන්නව කියන්නෙ මේ නිසයි. අවිද්‍යාව, ආත්ම දිට්ඨිය, මමත්වය යන නම් වලින් හඳුන්වන්නෙ තමා යන සංකල්පයයි. මේ තමා හෙවත් මමත්වය තුළ තමයි ආධ්‍යාත්මික ආයතන පවතින්නෙ. චක‍්‍රාදී මේ ආධ්‍යාත්මික ආයතන තුළ ඔපවත් ස්වභාවයෙන් තමයි බාහිර රූපයන් ඇදගන්නේ. එතන විඤ්ඤාණය නාම ධර්ම පත්වන්නට ගන්නව.

එවිට සිතක් ඇතිවෙනව. අවිද්‍යාව නිසා සංඛාර හටගන්නව කියනනෙ මෙයයි. මේ සිත තුළ රූප, වෙදනා, සංඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කස්ධ පහ සකස්වන අයුරුත් පැහැදිලිව පෙන්නුම් කර දුන්හ.

මේ සිත ඇතිවන මුල් අවස්ථාවේදී වේදනාවේ පවතින්නෙ කැමති බව හෝ අකමැති බව කියන්නනෙ තණ්හාව නෙමෙයි. ඇලීම ගැලීම එතන නැහැ. බුදුපියාණන් වහන්සේලාත් රහතන්වහන්සේලාත් කැමති අකමැති දේවල් තියෙනව. රමණීය වූ අරණ්‍ය සේනාසනවලට වීතරාගීන් වහන්සේලා කැමතියි. සිතේ මුල් අවස්ථාව තණ්හාවෙන් තොරයි. එනිසා මෙම මුල් අවස්ථාව ඉතාමත් පිරිසිදුයි. ප‍්‍රභාස්වර සිත කියන්නෙ එම මුල් අවස්ථාවටයි.

..පභස්වර මිදං භික්ඛවේ චිත්තං තංච ඛෝ ආගන්තුකෝ උපක්කිලේසේහි උපක්කිලිට්ඨං..

මහණෙනි, සිත ප‍්‍රභාස්වරයි. ආගන්තුකව පැමිණෙන කෙලෙස්වලින් සිත කිළිටි වෙයි. කොහොමද මේ කෙලෙස් ඇතිවී සිත අපිරිසිදු වෙන්නෙ  කියා විමසා බලමු. මේ සිත ඇතිවෙන්නෙ මමත්වය තුළින්. එම නිසා සිත සකස් වෙන විගසම ඉතා ක්ෂණිකව අවිද්‍යාව තුළින් නිත්‍යයි කියන දිට්ඨිය ඇති වෙනව. එවිට අර වේදනාවේ පවතින කැමති බව ඇලීමට යනව. අකමැති බව ගැටීමට යනව. මේ ඇලීමයි ගැටීමයි දෙකටයි තණ්හාව කියල කියන්නෙ. උපේක්ෂාව කියන්නෙත් තණ්හාව වගේම ඉතා සියුම් බවක් පමණි. මේ තණ්හාවට ගොස් කිළිටි වූ සිතයි භවයට යන්නෙ. ආත්ම දිට්ඨිය ඇතිවී තණ්හාවට යන්න පෙර සිත ඉතිමත් පිරිසිදුයි. මෙතනින් තමයි සිත භවයට යාම නවත්වන්න පුළුවන්කම තියෙන්නෙ. මා මුළින් සඳහන් කළා මේ සුද්ධ ධර්ම හෙවත් ධාතු විපරිනාම ස්වභාවයෙන් ඇතිවෙමින් නැතිවෙමින් පවතිනව. එසේම මෙම සුද්ධ ධර්ම වේගයෙන් වෙනස් වන නිසා නාම රූපඇති කිරීමේ ශක්තියක් මේවාට ලැබිල තියෙනව. මේ ශක්තිය ලැබිල තියෙන්නේ වේගය නිසා වේගය කියන්නෙ වෙනස් වන සුලූ බවටයි.  චලනය කියන්නෙත් මේ වේගයයි.  අනාත්මය කියන්නෙත් මෙයමයි.

අවසවත්ථි නට්ඨෙන අනත්තා, ස්වකීය වසගයෙහි නොපවත්නා හෙයින් අනාත්ම නම් වෙයි. ස්වකීය වසගයෙහි නොපවතින්නෙ වේගයෙන් වෙනස් වන නිසයි. කුමක්ද? මේ වෙනස් වෙන්නෙ? සබ්බේ ධම්මා හෙවත් හටගත් සියල්ලයි. හටගත් දෙයක් වෙනස් වීම යනු අනිත්‍යයයි. හටගත් සියල්ල අනිත්‍ය වන විට එතන පවතින්නෙ හිස් බවක් පමණයි. එතකොට අනිත්‍යයි යමක් අනිත්‍ය නම් එකන දුකයි. යද නිච්චං තං ද්ක්ඛං කියන තැන පවතින්නෙ හිස් බවක්. මේ හිස් බවත් හටගත් දෙයක්.  මේ හිස් බව තුළයි නාම රූප පැතිරී පවතින්නෙ. ආකාස ධාතුව කියන්නෙත් මෙයටයි. හටගත් විඤ්ඤාණ නාම රූප අනිත්‍ය වෙන කොට හිස් බව නැති වෙනව. නැවත විඤ්ඤාණ නාම රූප ඇතිවෙන කොට හිස් බව ඇති වෙනව. මේ ඇතිවීම නැතිවීම ඉතා වේගයෙන් සිදුවන නිසා හිස්බව පෙනෙන්නෙ නෑ. මේ වේගවත් බව මස් ඇසට පෙනෙන්නෙ නෑ. මෙය දකින්නට නම්  ප‍්‍රඥා චක්ෂුෂයම ඇතිකර ගත යුතුයි. මෙය දැකීමට නම් යෝනිසෝ මනසිකාරයෙන් ලෝකය විනිවිද දැකිය යුතුයි. අභිඤ්ඤෙය්‍ය පරඤ්ඤෙය්‍ය  ගැඹුරින් දැකිය යුතුයි.  පිරිසිද දැකිය යුතුයි. ලෝකය අනාත්ම බව පෙනෙන්නෙ පිරිසිඳ දකින අයටයි. මෙම විපරිනාම ධර්මතාවය නොදකින සාමාන්‍ය ජනතාව ලෝකය නිත්‍යයි සුඛයි ආත්මයි කියල වරදවා දකිනව. අවිද්‍යාව කියන්නෙ එයටයි. ආත්ම දිට්ඨිය කියන්නෙත් එයටයි. මමත්වය කියලත් එයට කියනව. ඇතිවෙන ක්ෂණයෙන්ම නැතිවෙන බව දැක්කොත් එතන මම මගේ කියල ගන්නට පුලූවන්කමක් නෑ.

නිමිත්තක් අරමුණක් ගන්නට බැහැ. ලෝක අරමුුණු ස්පර්ශ කරන්නට පුලූවන්කම තියෙන්නෙ ලෝකය හෙවත් පඤ්ඤ උපාදානස්කන්ධය නිත්‍යයි හෙවත් ආත්මයි කියන දිට්ඨිය නිසයි. අරමුණක් ස්පර්ශ කළොත් තමයි දෙකක් එකතු වෙන්නෙ. දෙකක් එකතු වූ විටයි නාම ධර්ම පහක් සමග විඤ්ඤාණය හටගන්නෙ. විඤ්ඤාණය හටගත්තොත් තමයි  සිතක් හෙවත් පඤ්ච උපාදානස්කන්ධය හටගන්නෙ අවිච්ජා පච්චයා සංඛාරා කියන තැන තියෙන්නෙ සිතක් සකස් විමයි. කර්ම ඇතිවෙන්නෙ සිතක් ඇතිවිම තුළින්මයි. සිතක් සකස් වුනේ නැතිනම්  කර්ම කරන්නට බැහැ. සිතක් කියල කියන්නෙ පඤ්ච උපාදානස්කන්ධයටයි. සංඛිත්තේන පඤ්ච උපාදානස්ඛන්ධ දුක්ඛො බුදු පියාණන්වහන්සේ වදැරනව.  කොටින්ම කියනව නම් පඤ්ච උපාදානස්කන්ධයම දුකක් බව, සේ සිත හට ගත්තෙ. ආත්ම දිට්ඨියෙන් අරමුණු ස්පර්ශ කළ නිසයි. දුකට මුල තමයි ඇති තතු නොදැකීම කියන්නෙ ඒකයි.

මෙම පඤ්ඤ උපාදානස්කන්ධයෙහි ස්වභාවය වේගයෙන් වෙනස් වන සුලූ බවයි. අනිත්ම කියන්නෙ එයයි. එම ලෝක ධර්මයන්ෙගේ අනිත්ම ලක්ෂණය ප‍්‍රඥාවෙන් දැක්ක නම් මම මගේ කියල දිටිඨියක් ඇතිවෙන්නෙ නෑ. එවිට කිසිවෙක් නැත. කිසිවෙක් නැත යන අනිමිත්ත ස්වභාව අරමුණු වෙයි. එය මනසට ඇදගත් විට විඤ්ඤාණය පහළ වී සිතක් ඇතිවෙයි. මෙම අනිමිත්ත සිත වඩවන විට අනිමිත්ත සමාධිය ඇතිවෙයි. පඤ්ච උපාදානස්කන්ධයෙන් හෙවත් ලෝකයෙන් මිදී ලෝකෝත්තර සුවය ලැබෙන්නේ මේ අනිමිත්ත සමාධිය තුළින්මය. මෙම අනිමිත්ත චිත්ත ඇති කර ගැනීමට නම් ප‍්‍රඥාවෙන් සියලූ ලෝක ධර්මයන්ගේ අනාත්මය දැකිය යුතුයි. එසේ දකින විට ලෝකය හෙවත් පඤ්ච උපාදානස්කන්ධය පිළිබඳව නිර්වේදයක් ඇතිවෙන බවත් එයම විශුද්ධි මාර්ගය බවත් පැහැදිලිය.

සබ්බේ ධම්මා යන්නෙන් පඤ්චස්කන්ධයත් පඤ්ච උපාදානස්කන්ධයත් වන දෙකම ගත යුතුයි. පංඤ්චස්කන්ධය කියල කියන්නෙ සිතෙහි මුල් අවස්ථාව හෙවත් ආත්ම දිට්ඨියෙන් තණ්හාවට යාමට පෙර අවස්ථාවයි. ප‍්‍රභාස්වර කියන්නෙත් එයයි. එය තණ්හාවෙන් තොරයි. අන්න ඒකයි පඤ්ච ස්කන්ධය කියල සඳහන් කළේ. දැන් එතකොට මේ සිතේ ස්වභාවය කුමක්ද? ඇතිවෙනව. නැතිවෙනව.  නැතිවෙනව. ඇතිවෙනව. මෙය ඉතා වේගයෙන් සිදුවෙනව. මෙය පාලනය කරන්න කිසිවෙකුට බැහැ. ඔබ සිතන්න පුළුවන් සමථ භාවනාවෙන් සිත එක අරමුණක රඳවා ගත්තහම එහෙම වෙන්නෙ නැහැ කියල. ඔබ නිවැරදි යැයි නොසිතන්න. එක අරමුණක රඳවාගත්තාට ඒ අරමුණම ගනිමින් සිතේ ස්වභාවය එසේම පවතිනව. සිතෙහි වේගවත් බවට උපමාවක් දක්වන්න නම් කොහොමවත් පුළුවන්කමක් නැහැ. නමුත් ඔබට ටිකක් පහසු කරන්න උපමාවක් කියන්නම්. දැන් ඔබ හඳුනාගත්තා වූ  හයසීයක් පමණ සිටින ජායාරූපයක් දෙස බලන්න. ඒ අයව හඳුනා ගන්න ඒ අයට විනාඩියක් පමණ යන්න ඇති නේද? මේ විනාඩිය ඇතුළත හයසිය දෙනා හඳුනා ගන්න සිතේ හයසියයක් ඇතිවෙන්න  ඕනෑ නේද? එක් අයෙක් හඳුනාගත් සිතෙන් තවත් අයෙක් හඳුනා ගන්න බැහැ නේද? තවත් අයෙක් හඳුනා ගන්න තවත් හිතක් ඇතිවෙන්න  ඕනෑ නේද? තවත් හිතක් ඇතිවෙන්ට නම් ඇති වූ සිත නැතිවෙන්ට  ඕනෑ නේද? මේ අනුව බලන විට  මේ හයසීයක් දෙනාව හඳුනාගන්න සිත් හයසීයක් ඇතිවෙන්න  ඕනෑ නේද? දැන් එතකොට තත්පරයකට සිත් දහයක් පමණ ඇතිවෙලා නැතිවෙලා ගොස් තිබෙන බව පැහැදිලියි නේද?

සාමාන්‍ය ජනයාගේ  සිතේ පවතින්නේ තණ්හාවයි. තණ්හාව කියන්නේ ඇලීම හා ගැටීමයි. උපේක්ෂාවද තණ්හාව වගේම ඉතා සියුම් බවක්. එසේ නම් ඇතිවෙන්නෙ නැතිවෙන්නෙ ඇලීම හා ගැටීමයි. ඇලීම වනාහි ඇතිවී නැතිවෙන කොට දුකයි. ගැටීම ඇතිවෙන කොටම දුකයි. එහෙම නම් මේ තණ්හාවෙන් යුක්ත වූ සිත ඇති වුණත් දුකයි. නැතිවුණත් දුකයි නේද? එහෙමනම් දැන් සිතා විමසා බලන්න ඔබ මෙතෙක් කල් තත්පර දසමයක්වත් දුකින් තොරව ජීවත් වෙලා තියෙනවද කියල. නෑ නේද?

මෙන්න මෙය තමා තුළින් පිරිසිඳ දැනීමයි දුක්ඛ සත්‍ය දැනගන්නට කියෙන්නෙ. මෙය දැනගත්තට මදි. දැකගන්නත්  ඕනෑ. දැකගන්න නම් මෙය නැවත නැවත වඩවා ගන්න  ඕනෑ, භාවිතා බහුල කතා කරනව කියන්නෙ එයයි. ඒකතමා භාවනා කරනව කියන්නෙ. භවනා කරන්නෙ නැතිව සත්‍ය අවබෝධ කරගන්න බැරි බව දැන් පැහිදිලියි නේද? මිනිසකු විසින් පළමුව කළ යුතු එකම දෙය සත්‍ය අවබෝධ කර ගැනීමයි.

බුදු හාමුදුරුවො එය කරල පෙන්නුව. කෙළෙහි ගුණ සැළකුවෙ දෙවෙනි සතියෙදීයි. එසේ කළේ කෙසේද? සමාපත්ති සුවයෙන් ඇසිපිල්ලක් නොගසා බෝධිය හෙවත් තමා අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය දෙස චක්ෂුසයෙන් බලාගෙන සිටියා.

මොකක්ද මේ ඇතිවුනේ නැතිවුනේ. සිතක්. සිතක් කියන්නෙ දුකක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ. මේ සිත තුළ ඇලීම ගැලීම හෙවත් තණ්හාව නැතිවුණා නම් දුකක් නැහැනේද? එහෙම නම් දුකට හේතුව තණ්හාවම බව දැන් දන්නවාද? මේ ධර්මතාව නැවත නැවත වැඞීමෙන් හෙවත් භාවනා කිරීමෙන් දැක ගන්නත් පුළුවන්. හැබැයි භාවනා කෙරේ නම් කිසිම දවසක කොච්චර බණ ඇහුවත් මේ සත්‍ය දැක ගන්න අපහසු වෙයි. දුකට තණ්හාව හේතුව බව දැන් පැහැදිලියි නේද? දුක්ඛ සමුදය සත්‍ය කියන්නෙ මෙයයි. පඤ්ච උපාදානස්කන්ධය හෙවත් සිත නිරුද්ධ කිරීම නිරෝධ සත්‍යයයි. දුක්ඛ නිරෝධය කියන්නෙ සම්මා දිට්ටියෙන් හෙවත් ප‍්‍රඥාවෙන් කරනු ලබන ක‍්‍රියාවන් පමණයි. මෙය කිරීමට පෙර එය කරන්නේ කෙසේද කියා දැනගත යුතුයි. ලෝකයට තණ්හා කළ නිසා  දුක ඇතිවු බව දන්නව. දැන් දැන ගන්න  ඕනෑ ඇයි මේ ලෝකයට තණ්හා කළේ කියන එකයි. ලෝක ස්වභාවය නොදන්නා නිසා තණ්හාව ඇතිවුණා කියලයි කියන්න තියෙන්නෙ. ඒ කියන්නෙ අවිද්‍යාව හෙවත් ආත්ම දිට්ඨිය නිසා තණ්හාව ඇතිවුණා කියන එකයි. ඇතිවෙමින් නැතිවෙමින් පවතින විපරිනාම ධර්මතාවයෙන් යුක්ත වූ ලෝකය නිත්‍යයි සුඛයි ආත්මයි යන වැරදි දැකීමක් යම් අවස්ථාවක ඇතිවුණා නම් ඇලීම ගැටීම ඇතිවුනේ එයටයි. එය එසේ නම් තණ්හාව නැති කරන්ට නම් හරි දැකීම හෙවත් සම්මා දිට්ඨිය ඇතිකරගත යුතුයි. දුක්ඛ නිරෝධ ගාමිණී ප‍්‍රතිපදාව සම්මා දිට්ඨියෙන් ආරම්භ වන මධ්‍යම ප‍්‍රතිපදාව වන්නේ එම නිසයි. මේක ඇතිවුණේ වරදවා දැකීම නිසා බවත් දුක නිරුද්ධ කිරීමට නම් හරි දැකීම ඇති කරගත යුතු බවත් දැන් දැනගත්ත නේද? මෙය දැන ගත්තට මදි. දැකගත යුතුයි. දැකගන්නට නම් භාවිතා බහුලීකතා කළ යුතුයි. හෙවත් භාවනා කළ යුතුයි.

දැන් දුක්ඛ නිරෝධය කරන්නේ කෙසේදැයි සිතා විමසා බලමු. සිතක් හට ගත්තා වූ මුල් අවස්ථකාවේ සිත තුළ පවතින පඤ්චඋපාදානස්කන්ධයට සම්බන්ධ වේදනාව තුළ ඇත්තේ  කැමති බව හෝ අකමැති බව පමණක් බව මා පෙන්වා දුන්නා මතක ඇති. එය තණ්හාව නොවෙන බවත් පෙන්වා දුන්නා. එසේනම් සිතක ව්‍යුහය හෙවත් මුල් අවස්ථාව පිරිසිදුයි. ප‍්‍රභාශ්වර සිත යනු එයයි. එය ආත්ම දිට්ඨියෙන් වසා ගත් පසු කර්ම බවට පත්වී භවයට පැමිණෙයි. මෙය හොඳින් දැනගෙන පිරිසිදු සිතෙහි ආත්ම දිට්ඨිය ඇතිවී අපිරිසිදු වීමට පෙර ප‍්‍රඥාවෙන් සිත දැකිය යුතුයි. ප‍්‍රඥාව යනු යථාර්ථය හෙවත් වහා වෙනස් වන සුළු බව දැකීමයි. හටගත් සිත වහවහා වෙනස් වනවා නම් හෙවත් අනිත්‍ය නම් කැමති බවට ඇලෙන්ටවත් අකමැත් බවට ගැටෙන්ටවත් පුළුවන් කමක් නැහැ. එසේ නම් ප‍්‍රඥාවෙන් සිත හෙවත් ලෝකය දෙස බලන විට එයට තණ්හාවෙන් භවයට යාමට නොහැකි නිසා එතනම නිරුද්ධ වේ. මේ නිරුද්ධ වන්නේ කුමක්ද? සිතයි. පඤ්ච උපාදානස්ඛන්ධය හෙවත් දුකයි. දැන් එතකොට මේ ධර්ම විිවරණය තුළින් ලෝකය දුකයි යන සත්‍යක් බවත් දුකට හේතුව තණ්හාව බවත් දුක නිරුද්ධ කළ හැකි බවද සත්‍යයක් බවත් ඒ සඳහා ගත යුතු එකම ප‍්‍රතිපදාව සම්මා දිට්ඨියෙන් ආරම්භ වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවත් එයද සත්‍යයක් බවත් කියන චතුරාර්ය සත්‍යයම දැනගත හැකියි. මෙය අසා දැන ගැනීමක් පමණි. එය මදි. මෙය යෝනිසෝ මනසිකාරයෙන් තමා තුළින් දැනගත යුතුයි. නිවන් දැකීමට එයත් මදි. මේ බව දැන ගත් සත්‍ය නැවත නැවත කමටහන් වඩමින් භාවනා බහුලීකතා කළ යුතුයි. හෙවත් භාවනා කළ යුතුයි. දහම් ඇස හෙවත් ප‍්‍රඥා චක්ෂුසය  ඇතිවන්නේ එයටයි. එම දහම ඇසින් ලෝකය දෙස බලන විට දුක නිරුද්ධ වෙයි. පඤ්චද්වාරයෙන් සිත මුදවා ගෙන මනෝද්වාරයට යොමුකරන විට මනසට අරමුණක් ඇදගෙන සිතක් සකස් වෙන විටම අප‍්‍රමාදීව යථාර්ථය හෙවත් අනිත්‍ය දැකිය යුතුයි. එවිට සිත හෙවත් දුක වහාම නිරුද්ධ වෙයි.

ලෝකය නිත්‍යයි. සුඛයි. ආත්මයි යන වැරදි දැකීම නිසා පඤ්ච උපාදානස්ඛන්ධය හෙවත් සිත නැමති දුක සිත නැමති දුක ඇති වුණා. දුකට මුල තමයි ඇති තතු නොදැනීම කිව්වෙ එම නිසයි. එහෙම නම් දුක නැති කිරීමට ඇති තතු දැනගන්න  ඕනෑ, දැක ගන්න  ඕනෑ, ඇති තතු නම් ලෝකය අනිත්‍යයි දුකයි. අනාත්මයි. මෙය පළමුව දහම දැකගත් ආර්ය පුද්ගලයෙකුගෙන් අසා දරාගෙන යෝනිසෝමනසිකාරයෙන් පිරිසිඳ දැනගෙන කමටහන් තුළින් නැවත නැවත භාවිතා බහුලී කතාකරමින් භාවනාත්මකව දැකගතු යුතුයි.

සියලූ සත්වයෝ පරමසුවයෙන් සුවපත් වේවා !
වතුරුගම නන්දසිරි හිමි.

Published in: on අප්‍රේල් 13, 2010 at 11:29 පෙ.ව.  ප්‍රතිචාර (2)  

විද්‍යාව දකිමු – දංකන්දේ ධම්මරතන හිමි.

බුදුරජාණන් වහන්සේ විසින් දක්වා තිබෙනවා

සබ්බේ සංඛාරා දුකඛති -යදා පත්තාය පස්සති
අථ නිබිබිත්තති දුක්ඛේ-එස මග්ගෝ විසුද්ධියා..

කියා ගාථාවක්. ඒ ගාථාව දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලා පන්සියයක් දෙනෙකුට, උන් වහන්සේලා කාශ්‍යප බුද්ධ ශාසනයේදී දුක ගැන නිතර නිතර මෙනෙහි කරපු අය. එදා ඒ භික්ෂූන් වහන්සේලා පන්සිය දෙනා දුක ගැන නිතර නිතර මෙනෙහි කරලා මේ සංසාර දුක ගැන අවබෝධයක් ඇතිකරගෙන හිටියේ. එදා ඒ අයට මාර්ගයක් ඵලයක් ලබලා නිවන් අවබෝධ කරගන්නට නොහැකි වුණා. කෙසේ වෙත් ගෞතම බුද්ධ ශාසනයේදී අප බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි වූවාට පසු බුදුරජාණන් වහන්සේ දුටුවා ඔවුන්ගේ පුණ්‍ය ශක්තිය පාරමී ශක්තිය උපනිශ‍්‍රය ශක්තිය පැහැදිලි ලෙසම. එම නිසාම අර කලින් ප‍්‍රකාශ කළ ගාථාව දේශනා කළහ. ඒ ගාථාව අවසානයේ සියලූ දෙනාම රහත් වූ බව පොත්පත්වල දක්වා ලිබෙනවා. ඔබටත් මේ දුක ගැන නිතර නිතර මෙනෙහි කිරීම නිසා මේ ජීවිතයේ දී ෙමිභවයේදී කෙසේ වෙතත් කවර භවයකදී හෝ නිවන් අවබෝධ කරගැනීමට මේ ක‍්‍රීයාවලිය එකසේම හේතුවනවා ඇති. වාසනාවෙනවා ඇති.

එතකොට මේ සියලූම සංස්කාර ධර්ම දුකක් වශයෙන් අපි  අවබෝධ කරගන්නට  ඕන. අද  ප‍්‍රකාශ කරන විදිහට මේ අය කටයුතු කිරීම තුළත් මේ මුළු විශ්වය පුරාම පැතිරී ඇති සියලූම සංස්කාර ධර්ම ඒකාන්ත දුකක් වශයෙන් දකින්නට  ඕනෑ. දුක්ඛ සත්‍යයෙන් මුළු විශ්වයම වැසී යන ආකාරයෙන් සම්මිශ‍්‍රණය කිරීමක් හෙවත් නුවණින් මෙනෙහි කිරීමත් කළ යුතු වෙනවා . මේ ලෝකයේ කිසිම සංස්කාර ධර්මයක් සුඛයක් වශයෙන් දකිනවා නම් එවැනි කෙනෙකුට නිවනක් දකින්න බැහැ. බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා අංගුත්තර නිකායේ මෙලෙස පාඨයක්,

.. සෝ වල භික්ඛවේ – භික්ඛු කිඤ්චි සංඛාරාං සුඛතෝ
සමනුපස්සත්තෝ අනුලෝමිකාය ඛන්තියා සමන්නාගතෝ
භවිස්සතීති නෙතං ඨානං විඡ්ඡුති- අන්ලෝමිකාය ඛන්තියා
අසමන්නාගතෝ සම්මන්තීනියාමං ඔක්කමිස්සතීති නේතං
ඨානං විඡ්ඡුති සම්මන්තීනියාමං අනොක්කමානෝ සෝතාපත්
ඵලංවා,සකදගාමී, ඵලංවා,අනාගාමෘ ඵලංවා, අරහන්ත ඵලංවා, සච්චිකරිසිසතීති, නේතං ඨානං විඡ්චති.

මෙහි කෙටි අදහස මේකයි. මේ ලෝකේ කවරෙකු හෝ කිසියම් සංස්කාරයක් සැපයක් වශයෙන් දකිනවා නම් කිසියම් සංස්කාරයක් සැපයි කියලා හිතාගන්නවානම්, ඔහුට විදර්ශනා ඥාන පහළ වෙයි කියලා හිතන එක කිසිදා සිදු නොවන දෙයක්. මේ විදර්ශනා ඥාන පහළ නොවූ කෙනෙකුට අනුලෝමික ඥානය සහිත සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත්,කියන මාර්ග සිත් උපදීය කියන කථාවත් කිසිදා සිදුවිය නොහැක්කකි. එලෙසින්ම ඒ සෝවාන් ආදී මාර්ග නොලැබූ කෙනෙකුට ..සෝතාපත්ති ඵලංවා, සකදගාමී ඵලංවා, අනාගාමී ඵලංවා, අරහත්ත ඵලංවා..

සෝවාන් සකදගාමී, අනාගාමී, අරහත් කියන ඒ ඵලයන් ලැබේයැයි කියන කථාවත්..නේතං ඨානං විඡ්ඡුති, ඒක කවදාවත් සිදුවන්නේ නැහැ. එලෙසිනුයි බුදු හාමුදුරුවෝ ප‍්‍රකාශ කළේ.

ඒක නිසා අපි දකින්නට යන්නෙ කුමක්ද? මේ අවස්ථාවේදී ඒ ශ‍්‍රී මුඛ පාඨයේ අවවාද අනුශාසනා පිළිපදිමින්, අනුගමනය කරමින් කරන්ට යන්නේ මේ ලෝකේ සියලූම සංස්කාර ධර්ම එකකුදු නෑර සෑම සංස්කාරයක්ම වාගේ ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් දකින ආකාරයට නුවණින් මෙනෙහි කිරීමකුයි. ..සබ්බේ සංඛාරා දුක්ඛාති….සියලූම සංස්කාරයෝ දුකක්. මේ දුක ගැන අවබෝධ කරන එක සාමාන්‍යයෙන් ප‍්‍රඥාව අඩු අයට වුවත් කරන්නට පුළුවන්. ආත්මයට ගැන මෙනෙහි කරන එක ප‍්‍රඥාව වැඩි අයට වඩා හොඳින් කළ හැකි වනවා. මෙතන සිටින සෑම කෙනෙකුටම ගෝචර වෙනවා මේ දුක ගැකන සිහිපත් කිරීම. ඒක කරන්නට පුළුවන් සෑම කෙනෙකුටම. ඒක නාසා දැන්අපි කල්පනා කරන්නට යන්නේ මේ ලෝකයේ තිබෙන සෑම සංස්කාරයක්ම ඒකාන්ත දුක්ඛසත්‍යයට යටත් වනබව , ඒකාන්ත දුක්ඛ සත්‍යයක් වන බව.

අප කොහොමද ඒක කළ යුත්තේ, කරන්නේ ? අපගේ පංචස්කන්ද ලෝකය මේ අය දන්නවා තමාගේ ඇහැ සහ සිත. ඒ සිතේ තියෙනවා, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඤ්ඤාණයක්, කියලා කොටස් හතරකුත් එතකොට රූපයක් සහිතව මේ කොටස් හතරටයි අපි පංචස්කන්ධය කියලා කථා කරන්නෙ. මේ පංචස්කන්ධයක ඒකාන්ත දුකක් කියලා. අපි තේරුම් ගන්නට  ඕනෑ. සංඛිත්තේන පංච උපාදානස්ඛන්ධා දුක්ඛා්.. ඒ බුදු රඡුාණන් වහන්සේගේ පාඨයක්. කෙටියෙන් කියනවා නම් මේ පංච උපාධානස්කන්ධයම තමයි දුක කියන්නේ. වෙන දුකක සත්‍ය කියලා කියන්නට ලෝකේ දෙයක් නැහැ. යම්කිසි ආකාරයකින් අපි දුක්ඛ සත්‍ය විස්තර කරනවා නම් ඒ විස්තරකිරීම් සෑම එකක්ම එක තැනකට යොමු වෙනවා.  ඒ තමයි පංචස්කන්ධය.අපගේ ඇහැ සහ සිත. මේ ලෝකයේ තිබෙන තාක් දුක් ජනිත වන්නේ අපේ ඇහේ සහ සිතේ පැවතීම පවතින තාක්කල් පමණයි. දුක් පහළවන්නේ වෙනත් කාගේවත් ස්ථානයක නොවෙයි. එම නිසා තමන්ගේ ඇඟ කොයිතරම් නම් දුකක්ද? තමාගේ සිත, සිතේ යෙදෙන සියලූම ධර්ම, කොයිතරම් නම් දුකක්ද? දුක් ලබා දෙන දෙයක් ද කියලා දැන් විමසන්නට  ඕනෑ. මේ ශරීරය ඉපදුණු මොහොතේ සිට මේ දක්වා අපට කොයිතරම් නම් දුක් ලබා දුන්නද ඇත්ත වශයෙන්ම අපි වින්දේ ඉතාමත් සුළු අල්ප වූ සැපයක් පමණයි. ඒ සැපයත් ඒ මොහොතටම සීමා වුණා. නැතිවී ගිය. මේ දුක කියන එක නිරන්තරයෙන්ම අප කරා ගලාගෙන ගලාගෙන එනවා. ඉදිරියේදීත් ඒ ආකාරයෙන්ම දුක අපට අනුභව කරන්නට සිදු වෙනවා. ඒක නිසා මේ ඇහැ සහ සිතේ පැවැත්ම කොයිතරම් නම් දුකක් ද කියන එක අප තේරුම් ගත යුතු වෙනවා. ඒකට තමයි අපි මුලදීම දුක ගැන සිහිපත් කරන්නට මරණානුස්සති භාවනාව කරනවිට උගන්වන්නේ. එම නිසා මේ අයට තරමක් දුරට හෝ මේ පංචස්කන්ධයේ පැවැත්ම දුකක් යැයි දැන් වැටහී ඇති.

අබබෝධය තවත් පෘථුල කරන්නට  ඕනෑ. පුළුල් වශයෙන් අවබෝධ කරගන්නට  ඕනෑ. මේ අපේ ඇහැ සහ සිත ඒකාන්ත වශයෙන් දුකක්ය. මේ සංස්කාර ලෝකයම මුළු විශ්වයම ඒකාන්ත වශයෙන් දුක්ඛ ගෝලයක්ය, කියන අවබෝධය අපට තියෙනවනම් ඒ කියන්නෙ මුළු විශ්වයම එකම දුක් ගෝලයක්,  අපි ගිණි පුපුරක් වගේ දුක් ගෝලය තුළ පවතින දුක් ගුළියක්, එහෙම පේනව නම් මේ මුළු විශ්වයම දුක්ඛ සත්‍යයෙන් වැහිල. අන්න එහෙම කෙනා එහෙම තත්වයට සිත පත්කරගන්න පුළුවන් කෙනා සිටින්නෙ විදර්ශනා භාවනාවේ ඉහපම තැනක. එවැනි කෙනාට කියන්නෙ වුට්ඨානගාමිණි විපස්සකයා කියලා. ඒ කියන්නේ වුට්ඨාන ගාමිණී කියන්නේ පෘථග්ජන භූමියේ සිට ආර්ය භූමියට යාම සඳහා නැගී සිටින අවස්ථාව කියන එකයි. ඒ කියන්නෙ පෘථග්ඥජන භූමියේ සිටින අය සෝවාන් ආදී මාර්ගඵල ලැබී ම සඳහා සාක්ෂාත් කිරීම සඳහා යාමට නැගී සිටින අවස්ථාව තමයි. මේ සියලූම සංස්කාරධර්ම ඒකාන්ත වශයෙන්ම දුකක්ය. දුකක් හැර අන් කිසිවක් නැත කියන අවබෝධය ඇතිවන අවස්ථාව , දුක්ඛ මේව උප්පඡ්ඡුමානා උප්පඡ්ඡුති දුක්්ඛං නිරුඡ්ඡුමානා නිරුඡ්ඡුක .. එලෙසිනුයි බුදුරඡුාණන් වහන්සේ වදාරන්නේ. දුකක්මයි ලෝකයේ පවතිත්තේ, දුකක්මයි උපදින්නේ,දුකක්මයි නිරුදක වන්නෙ.ඉතින් අපට කිසිදු සංස්කාරයක් සැපවශයෙන් පෙනෙනවා නම් අපි නිවවට සමීප වෙලා නැහැ. ඒක නිසා ඒකාන්ත වශයෙන්ම මුළු විශ්වයම දුකක්…….. දුකක්…….. දුකක්…….. කියන හැඟීම ඇතිකර ගැනීමට ගනු ලබන උත්සාහයකකුයි දැන් අපි කරන්නට යන්නේ.

එතකොට කොහොමද  අපි ඒක කරන්නේ. අපගේ පංචස්කන්ධ ලෝකය දුකක් වශයෙන් දකින ආකාරය මේ අය දන්නවා. බාහිර ලෝකයත් සංස්කාර ලෝකයත් ඒකාන්ත වශයෙන් දුකක්. අනික් අතින් දුක්ඛ සමුදය සත්‍ය කියලා තේරුම් ගත යුතුයි. අපි කලින් දැක්කේ  දුක්ඛ සත්‍ය. දැන් දුක්ඛ සහ දුක්ඛ සමුදය සත්‍ය කියන දෙකම අපි අවබෝධ කරන්නට යනවා. ඊට පසුව චතුරාර්ය සත්‍යයම අවබෝධ කරන්නට උත්්සාහ ගන්නවා.

එතකොට අපි උදාහරණ වශයෙන් ගමු. දැන් අපේ ඇහැ ඒකාන්ත වශයෙන්ම දුකක් බව මේ කවුරුත් දන්නවා. මේ ඇහැ පවතින නිසා තමයි සියලූම දුක් අපට ඇති වන්නේ නැහැ නැත්නම් අපට දුකක් නැහැ. කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. ඇහැ නිසා නෙවෙයි දුක තියෙන්නෙ. සිත නිසා. සිතේ පැවැත්ම පවතින නිසා තමයි දුක අපට දැනෙන්නෙ. දැන් සිත නිරුද්ධ කරලා තියෙනවනම් සිහි නැතිකරලා තියෙනවනම් අපේ ඇහැට දුකක් නැහැ. එතකොට ඇහැ පැවතුනත් සිත නැත්නම් එතැන දුකක් අපිට අත් දකින්නට ලැබෙන්නේ නැහැ. එහෙම නම් ඇහැ දුක්ඛ සමුදය සත්‍යයක් වෙනවා. ඒක තේරුණාද? ඇහැ දුක්ඛ සමුදය සත්‍යයක් වෙනවා. ඇහැ දුක් ඇති කරවනු ලබන ස්ථානය. දුක් උපදවන තැන. දුක් ඇති කිරීමට හේතුපාදක වූ සමුදය වු කාරණාව. එතකොට සිත දුකක්. බවට පත්වෙනවා. දැන් මේක තේරුම් ගන්ත. හිත දුකක්ය. කය දුක්ඛ සමුදය සත්‍යය.

මේක අපි අනික් පැත්තට කතා කරමු. කය නැත්නම් සිත තිබුණාට දුකක් දැනෙනවා නැද්ද? මානසික දුක් තියෙනවා. කායික දුක් මෙන්ම මානසික දුක් ලැබෙනවා. මානසික දුක්් අපගේ වැරදි අවබෝධය නිසා, අවිද්‍යාව නිසා බොහෝ විට ඡුනිත වන්නේ චෛතසික දුක් සිත තුළින් අපට ඇතිකර දෙනවා. ඒක නිසා සිත දුකකුත් වෙනවා, අනෙක් අතට කයට දුක් ඇතිකර දෙන්නේ සිත නිසා, සිත දුක්ඛ සමුදය සත්‍ය බවටත් පත්වෙනවා.

මේ දුක් ඔක්කොම ඇතිවෙන්නෙ අපගේ කය පවතින නිසා. කයේ පැවතීම නිසා, කයේ පැවැත්ම පවතින නිසාම කය දුක්ඛ සමුදයක් වෙනවා. දැන් එතකොට අපිට තේරෙන්නට  ඕනෑ කය එක අතකින් දුක්ඛ සත්‍යයක්ය. දුක්ඛ සමුදය සත්‍යයක්ය කියලා. සිත දුක්ඛ සත්‍ය තවත් අතකින් බලන විට සිත දුක්ඛ සමුදය සඅපට දුක් ත්‍ය කියලා. ඒ වගේම කය දුක්ඛ සත්‍ය, සිත සමුදය සත්‍ය, ඒ වගේම සිතදුක්ඛ සත්‍ය, මේක ටිකක් පැටළිලි සහිතද? මේ අයට, දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සත්‍ය ඔය විදිහට තමයි ක‍්‍රියාත්මක වන්නේ. එතකොට මේ කය දුකක් සහ දුක්ඛ සමුදයක් වෙනවා. මේ ලෝකෙ තියෙන සියළුම සංස්කාර ධර්ම දුක්ඛ සමුදයක් බවට පත්විය යුතුයි.

දැන් අපි උදාහරණයට ගනිමු. අපි තිරිසන් ගත සත්වයෝ ගමු උදාහරණයට. මේ ලෝකේ සිටින සෑම තිරිසන් ගත සත්වයෙක් නිසාම අපට විවිධාකාර දුක් ගැහැට, පීඩා,කරදර, මරණය පවා සිදුවිය හැකියි. අපේ කයට සහ සිතට විවිධාකර දුක ලබා දෙන හේතූන් වෙනවා. උදාහරණයකට  මදුරුවෙක් ගමු. ඩෙංගු වැනි මදුරුවෙක් ගත්තොත් මාරාන්තික වෙලා මරණය පවා සිදුවෙන්නට පුළුවන්. නැත්නම් ජීවිතයටම බලපාන බරවා වැනි රෝගයක් ඇතිවන්නට පුළුවන්්.  ඕනෑම සත්වයෙක්  ඕනෑම සර්පයෙක් නැත්නම් ඔය දරුණු සතෙක් ගත්තත් අපට දුක් ලබා දෙන හේතුවක් බවට පත් වෙනවා. ඒක තේරෙන්නට  ඕන. ඔනෑම ප‍්‍රඥාව මඳ කෙනෙකුට වුවත්. ඒක තේරෙනවා නේද? ඒ වගේම මේ ලෝකයේ ඉන්න සියලූම අමනුෂ්‍යයින් අපට දුක් ලබා දිය හැකි දේ ලබා දෙන සත්වයෝ බවට පත්වෙනවා. ඔය අමනුෂ්‍ය පීඩා වලට බඳුන් වූ අය සිටිනවා නම් දන්නවා ඇති ඒ අය කොයිතරම් නම් දරුණු දුක් පීඩා ශරීරයට ඇති කරනවද? ඇතිකරලා දෙනවද කියලා? මේ ලෝකයේ යම්තාක් අමනුෂ්‍ය සත්ත්ව කොට්ඨාසයක් සිටීනම් ඒ සෑම අමනුෂ්‍ය කොට්ඨාසයක්ම දුක්ඛ

සමුදය සත්‍ය වෙනවා. අපි දුක්ඛ සත්‍ය වෙනවා.

එතකොට ඉස්සෙල්ලා බලනකොට අප දුක්ඛ සත්‍යයි, තිරිසන් ගතවූයේ. ලෝකයට දුක්ඛ සමුදය සත්‍යයි. දැන් අමනුෂ්‍යයින් අනුව බලනවා නම් අපි දුක්ඛ සත්‍යයයි. අමනුෂ්‍ය ලෝකයම අපි අනුව බලන විට දුක්ඛ සමුදය සත්‍යයයි.

දැන් අපි හිතමු දෙවියන් ගත්තොත් මේ අය අහලා ඇති. දෙවියන් කෝපවෙනවා නොයෙක් ආකාර පීඩා කරදර අපට දුක් ලබාදෙන බව. එවිට දෙවියන් දුක්ඛ සමුදය සත්‍යය වෙනවා.

අපි හිතමු අපි පරිහරණය කරන අපි ඉතා ඇළුම් කරන සුඛෝපභෝගී වාහනයක්. අපිට දුක් ලබාදෙන ධර්මතාවයක් බවට ඒක පත්වන්නට පුළුවන්. අපට සැප ලබා දීමට තියෙන එකක්. නමුත් සමහරවිට අඟපසග කැඞී යන, සමහර විට ඡීවිතය නැතිී යන, සමහර විට ඇස් අන්ධ කරවන, සමහර විට ඡීවිතය නැතිවී යන සමහර විට මුළු ඡීවිතයම ඔත්පළ භාවයට පත්කරවන ධර්මයක් බවට ඒ අපි ඇළුම් කරන වාහනයක් වුවත් පත්වන්නට පුළුවන්. එතකොට ඒක දුක්ඛ සමුදය සත්‍යයක් බවට පත්වෙනවා. දැන් අපි ඇළුම් කරනවා ගෙවල් දොරවල්, ආදී තමාගේ වස්තුව. මේවා ඔක්කොම අපිට දුක් ලබා දීමට හේතු වූ දුක්ඛ සමුදය සත්‍යයක්. ඒවා නඩත්තු කිරීමට, ඒවා ආරක්ෂා කිරීමට, යම්තාක් දේ කරනවා නම් ඒවා ඔක්කොම දුක්. ඒ දුක් ලබා දෙන්නේ අර කියන වස්තුව නිසා. ඒක නිසා ඒ සියලූම අපි පරිහරණය කරන වස්තූන්. දැන් තේරෙන්නට  ඕන. දුක්ඛ සමුදය සත්‍යටයි මේවා වැටහෙන්නේ කියලා. අපට දුක් ලබා දෙන දේවල්. අවබෝධ වෙනවද ඒ කාරණාව. එතකොට අපි බලමු. දැන් අපේ ප‍්‍රිය වස්තූන්, දූවරු, පුත්තු, ස්වාමි පුරුෂවරු, භාර්යාවරු, මිත‍්‍රයෝ, මනුෂ්‍යයෝ ඉන්නවනේ ගොඩක් අය. මනුෂ්‍යයෝ සෑම මනුෂ්‍යයෙක්ම අපට දුක් ලබා දිය හැකි ධර්ම.  ඕනෑම අවස්ථාවකදී පරම සතුරෙක් බවට පත්වෙන්නට පුළුවන් අද සිටින කල්‍යාණ මිත‍්‍රයා. සමහර විට දරුණු සතුරෙක් බවට පත්වෙන්නට පුළුවන්. අපේ ජීවිතය නැති කිරීමට අප කරු පැමිණෙන වධකයෙක් බවට පත්වෙන්නට පුළුවන්.  ඕනෑම මනුෂ්‍යයෙක්. මුළු ලෝකයේ සිටිනවා නම් යම්තාක් මනුෂ්‍යයෝ අපි අනුව බලන විට ඒ අය දුක්ඛ සත්‍ය බවට පත්වෙනවා.

අපි මේ දුක්ඛ හා දුකඛ සමුදය සත්‍ය මුළු විශ්වයටම පතුරන්ටයි යන්නේ. ඒකයි මේ කරන්නේ. දැන් අපි බලමු අපේ ප‍්‍රියතම අය ප‍්‍රියතම භාර්යාව, ස්වාමි පුරුෂයා, අම්මා, තාත්තා, දරුවෝ මේ අය හිතවතෙක් වේවා. සැප ලබා දෙන වස්තූන්ය කියලා. හැබැයි බුදු හාමුදුරුවෝ නම් එහෙම කියලා නැහැ. බුදුහාමුදුරුවෝ කියා තියෙන්නේ,

පියතො ඡුායතී සොකො – පියතො ඡුායති භයං
පියතො විප්පමුත්තස්ස   – නත්ථි සොකො කුතොභයං

ප‍්‍රියයන් නිසා ශෝකය උපදිනවා. ප‍්‍රියයන් නිසා භය උපදිනවා. නැද්ද කියලා බලන්න. දැන් අපි ඇළුම් කරන්නේ යම්තාක් දුරකටද ඒ තාක් දුරට ඒ අය තුළින් අපිට දුක් ලබා දෙනවා. අපි ඇළුම් කරන ප‍්‍රමාණය ප‍්‍රබල වන්නට වන්ට අපි ආදරය කරන බැඳෙන ප‍්‍රමාණය වැඩි වන්නට වැඩි වන්නට ඒ තුළින් අත්වන දුකත් වැඩිවෙනවා. අපේ ප‍්‍රියභාවය නැති පුද්ගලයෝ නම් අපට ඒ තරම් දුකක් ලබා දේනනේ නැහැ.

අපි උදාහරණ වශයෙන් හිතමු. පුතකුට දැඩිව ආදරය කරනවාද? ඒ තරම් දැඩිවම අපට ඒ තුළින් දුක් ලබා දෙනවා, සමහර විට තමන් ඇලූම් කරන ඒ දූවරු, පුත්තු, පියවරු, තමන්ගේම සතුරන් වධකයන් බවට පත්වන අවස්ථා තියෙනවා. ඒ අතින් බලන විටත් ඒ අය දුක්ඛ සමුදය සත්‍යයක්. එහෙම නොවූවත් ඒ අයට ලෙඩ රෝග හැදෙන විට කරදර විඳින විට විපත් වෙනකොට මරණයට පත්වෙන කොට ඒ අයගේ වස්තුව සතුරන් සොරුන් පැහැර ගන්නා විට, විනාශ වන විට, විවිධාකාර නින්දා අපහාස අපකීර්තිවලට බඳුන් වනවිට, විවිධ තාඩන පීඩන වලට ලක්වන විට, යොමු වන විට, අපට සැපතක් නොවෙයි, ලබා දෙන්නේ දුකක්, ඇතිකර දෙන්නේ. එතකොට ඒ අය දුක්ඛ සමුදය සත්‍ය නොවනවා කියලා මේ අයට හිතන්න පුළුවන්ද? අපි මෙතෙක් කල් ප‍්‍රිය වස්තූත්, වශයෙන් සැළකුවාට ඒකාන්ත වශයෙන් වේවා, දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දැන් දකින්නට  ඕනෑ. ඇයි මෙලෙසින් අපි දකින්නෙ මේ සංසංකාර කෙරෙහි තිබෙන බැඳීම අත්හැරයි නිවන් ලබන්නේ. සංස්කාර අත්හරින්නෙ නැතුව විසංකාරගත වන්නේ නැතිව නිවනකට සිත පත්කර ගන්නට බැහැ. සියලූම සංස්කාර අත්හරින්නට  ඕනෑ, අතහරින්ට නම් අපි මේ නියම තත්වය යථා තත්වය තේරුම් ගන්නට  ඕනෑ, මේක තමයි දුක්ඛ සත්‍යය කියලා.

අතීතයේ අපට හිටපු නෑදෑයෝ හිතමිතුරෝ ඔක්කොම අපි අත්හැරලා ඇවිත් සිටින්නේ. මේ ඡීවිතයේ දැන් අපට ඉන්නව අපි ඇසුරු කරන අය. ඒ අයත් අපි අතහැරලා යනවා. නමුත් අතීතයේ අය වෙනුවෙන් අපි යම්තාක අකුසල කර්ම සංස්කාර රැුස්කළා නම් ඒවායෙහි විපාක විඳින්නේ ඒ අතීතයේ අපි ඇළුම් කරපු  ඒ අයද එහෙමනැතිනම් අපිද? අපියි විඳින්නේ. අපි මේ අද ඇළුම් කරන අය නිසා යම් තාක් කර්ම සංස්කාර රැුස්කරනවා නම් ඒ අය අප අතෑරලා යයි. අපි නැත්නම් ඒ අය අතහරිනවා. ඒවායේ විපාක විඳින්නට වෙන්නේ අපිටමයි. සංසාරයට ඇදදමනවා. සංසාර දුකේ ගැට ගසනවා. හෙම නම් දුක්ඛ සමුදය සත්‍ය බවට පත් වෙනවා. ඇලීම නිසා නැවත නැවත ඉපදීම ඇති කරනවා. නැවත නැවත ඉපදීම ඇති කරනවා. නැවතනැවත ඉපදීම කියන්නෙ දුකේ පහළ විම එතකොට දුකේ පහළ වීම  ලබා දෙන ධර්ම දුක්ඛ සමුදය සත්‍යයයි. මේ ලෝකේ කොතනද දුක්ඛ සමුදය සත්‍ය බවට පත්නොවන සංස්කාරයක් තියෙන්නේ කියලා දැන් කල්පනා කරලා බලන්න. මොකක්ද අපට දුක්ලබා දීමට සමත් නොවන ධර්මයක් තියෙන්නෙ. අව්ව, වැස්ස, හුළං ඒවා ගනිමු. වැස්සෙන් කොයිතරම් අපට දුක් ලබා දෙන්න පුළුවන්ද? අව්වෙන් කොයිතරම් දුක් ලබා දෙන්න පුළුවන්ද? සුළඟින් ගංවතුනේ, ගින්දරෙන්, කොච්චර දුක් ලබා දෙන්න පුළුවන්ද? මෙන්න මේවා පවා අපට දුක් ලබා දෙන වස්තූන්. ස්වභාවික ධර්මයත් පවා. එතකොට සියලූම සත්වයන් දුක් ලබා දෙන වස්තූන්. ස්වභාවික ධර්මයත් පවා. එතකොට සියළුම සත්ත්වයෝ දුක් ලබා දෙන වස්තූන්. සියලූම ගස් කොළන් ආදී යම්තාක් ධර්ම තියෙනවා නම් ඒවා අපට දුක්ලබා දෙන හේතුවන්නට පුළුවන්. සංසාර දුකට ඇදදමන්නට පුළුවන්. ඒම නිසා මේ මුළු විශ්වයම ඒකාන්ත දුක්ඛ සමුදය සත්‍යයක්. අපි අනුව බලන විට තමාගේ ලෝපය අනුව බලන විට මුළු විශ්වයම අපට දුක් ලබා දෙන ධර්ම මුත් විශ්වයම සංහාරයට ඇද දමන ධර්ම. එම නිසා මුළු විශ්වයම අපට පෙනෙන්නට  ඕනෑ වේ. දුක්ඛ සමුදය සත්‍යයත්….. සමුදය සත්‍යයත්…..  සමුදය සත්‍යයත්…..  අන් කිසිවක් නොවෙයි කියලා.

අපේ ඇහැ සහ සිත දෙස බලන විට අපට තේරෙන්නට  ඕනෑ ඒක තමයි මහා දුක්ඛ ගුලිය දුක්ඛ ගෝලය දුක්ඛ සත්‍යයයි කියලා මොකද යම් තාක් දුක් ඇතිවෙනවා නම් ඇතිවෙන්නේ මේ පංචස්කන්ධ ලෝකය තුළ මේ කියපු කරුණු ටික මේ අයට දැන් වැටහෙනවා ඇති. මේ කට කියන්නේ සංඥාව කියලා. හැඟීම කියලා. අවබෝධයයි අපට අවශය වන්නේ. ඒක නිසා මේ සියලූ කරුණු ටික දැන් අවබෝධ වන ආකාරයෙන් තමාම සිතන්න. ගැඹුරින් සිහිපත් කරන්න. මේවා දුක්ඛ සමුදය නේද?මේවා දුක්ඛ සත්‍ය නේද කියලා තමන්ට අවබෝධ වන විදියට කල්පනා කරන්න. සිහිපත් කරන්න.

ඊළඟට අපි චතුරාර්ය මත්‍යයටයි යොමු කරන්නේ. දැන් දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි එහෙම නම් දැන් කවුරුත් මුළු විශ්වයේම දුක්ඛ සත්‍ය හා දුක්ඛ සමුදය සත්‍යය වශයෙනුයි. ඒ වගේම තමාගේ ඇහැ සහ සිත දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය සතය වශයෙනුත් දකිමින් මුළු විශ්වයම දුක්ඛ සත්‍යයට බඳුන් කරන්න. අපි කිව්වා මරණයට පසුව නැවත උපදිනවා. ඒ ඉපදීම මහා දුකක්. මේ ඉපදෙන්නේ කුමන ධර්ම මගේ හිතතුළ ක‍්‍රියාත්මක වන නිසාද? මම මැරෙනවා මැරුණට පස්සේ නැවත ඉපදෙනවා. මොකක් නිසාද මම මම නැවත නැවත ඉපදෙන්නේ. ඇයි මෙලෙසින් මගේ ඉපදීම සිදු වන්නේ. කුමක් නැතිවී ගියොත්ද මගේ නැවත ඉපදීම සිදු නොවන්නේ කියලා සිහිපත් කරන්න.

තමාගේම අවබෝධය

හොඳයි පින්වත්නි මේ අය මා කියපු විදියට සිතුවා නම් මේ මුළු විශ්වයේම සංස්කාර ධර්ම දුක්ඛ සුමදය සත්‍ය වශයෙන් දැන් තේරෙන්නට  ඕනෑ. අපි නිවන් අවබෝධ කරන්නේ සම්මා දිට්ඨිය තුළින්. සම්මා දිට්ඨිය කියන එක විස්තර කරන කොට බුදුන් වහන්සේ විස්තර කරන්නේ ..කථමාව භික්ඛවේ සමමා දිට්ථි..

..මහණෙනි, සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? දුක ගැන ඥානය, දුක්ඛ සමුදය ගැන ඥානය, දුක්ඛ නිරෝධය ගැන ඥානය, දුක්ඛ නිරෝධ ගාමිණී    පටිපදා ඥානය, මේ අයට දුක හා දුක්ඛ සමුදය ගැන තරමක් දුරට හෝ අවබෝධයක් ඇතිවුණා නම් සම්මා දිට්ඨියයි මේ අයගේ සිතතුළ දැන් දියුණු වී තියෙන්නේ?

දැන් මා කීවා, මුළු විශ්වයම සංස්කාර ධර්ම දුක්ඛ සමුදය වශයෙන් මේ අය දැක්කේ කියලා. දැන් මේ අහන ප‍්‍රශ්න වලට මේ අයම සිතින් පිළිතුරු දෙන්න  ඕනෑ. නුවණින් සිහිපත් කරලා ආවාට ගියාට නොවෙයි. දැන් අපි කල්පනා කරමු.

හිතන්න දුක් විඳ විඳ ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා මැරෙනවා. මැරුණට පස්සේ ඒ ජීවත් වු පුද්ගලයා අනුව බලන විට දුකක් කියලා දෙයක් තියෙනවාද? දුකක් කියලා දෙයක් තියෙනවා නම් තිියෙන්නේ ඔහු නැවත ඉපදුනොත් විතරයි. ඉපදීම නිසයි දුක ජනිත කර දෙන්නේ. අර මරණයේදී ඒ දුක් ධර්ම ඔක්කොම නැතිවී යනවා. නැවත ඉපදීමක් ලැබෙනවා. නැවත ඒ දුක් ගුලිය නැවත නැවත ඒ දුක් කන්ද පවත්වාගෙන යන්නට සිදුවෙනවා. එම නිසා එතන දුක කියලා එකකට අපිට කියන්නට තියෙන්නේ මොකක්ද? ඡුාතාපා දුක්ඛා ටිකක් ගැඹුරින් අහන්න. ජාතිය තමයි දුක් ලබා දෙන ධර්මය. මේ අයට තේරෙනවද?

එතකොට අපි මරණයට පත්වුණා නම් මේ ජීවිතයේ මේ ලෝකයේ මොන සංස්කාර ධර්මයද මළ මිනියට දුක් ලබා දීමට සමත් වන්නේ? අපි ඉස්සෙල්ලා දුක්ඛ සුමදය වශයෙන් බාහිර සංස්කාර ලෝකය දැක්කා. දැන් අපි එයින් එහාට යන්න දියුණු කරනවා මනස. එතකොට ඒවා දුක්ඛ සමුදය සත්‍යයක් බවට පත්වන්නට නම් අප ඉපදිලා අපගේ ප‍්‍රාණය පවතින්නට  ඕනෑ. දැන් තේරෙනවද ඒ කතාව. එතකොට අර භාවනාව දියුුණු අය මේ මරණයේදී දුක සම්පූර්ණයෙන්ම නැතිවී යනවා.නැවත ඉපදුනාමයි දුක ඇතිවන්නේ. ඇයි මේ මා උපදින්නේ. කුමන ධර්ම තියෙන නිසාද ඉපදෙන්නේ. කුමනධර්ම නැතිවුනොත්ද නැතිවන්නේ කියලා අත් දකින්නට  ඕනෑ අනිත් අයට නොවෙයි. හොඳයි එතකොට දැන් අපි කල්පනා කරමු. ඔන්න කෙනෙක් දුක් විඳ විඳ සිටිනවා. ඔහු මැරුණට පස්සේ ඒ ඡීවිතය අන්ව බලන විට ඔහුට දුකක් නැහැ. ඒ ජීවිතය තියෙන විට පණ ටික තියෙන විට අපි කියනවා ඒක ඒකාන්ත වශයෙන් දුකක්ය. සංඛිකත්තේන පංච්පාදානඛන්ධා දුක්ඛා ය කියලා. පංචස්කන්ධයේ පැවැත්මම දුකක්ය කියලා. මෙහිදී දුක්ඛ සමුදය සත්‍ය වන්නේ කුමක්ද? ප‍්‍රඥාවෙන් යුතුව කියන්න. දැන් මේ අයගේ ඇහැ සහ සිත දැන් පවතිනවා. මේක ඒකාන්ත වශයෙන්ම දුක් ලබා දෙනවා. මේ අය දන්නවා ඒ කාරණාව ඒ වගේම මේ ඇහැ සහ සිත තුළින් නොයෙකුත් ආකාර දුක් ලබා දීමට මේ ඇහැ සහ සිත හේතු වෙනවා. ඒක නිසාම මේක දුක්ඛ සමුදය සත්‍යයක්. බවත් දන්නවා. එතකොට මේ ඇහැ සහ සිත දුක්ඛ සත්‍යයයි. දැන් අපි මැරුණට පස්සේ අපේ මේ ඡීවිතයේ පවතින දුක නැතිවී යනවා, ජරා නැති නිසා, මේ ජීවිතයේ  – මේ ඇහේ සහ සිතේ දුකේ පැවැත්මේ, දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ එහෙම නම් කුමක්ද? ප‍්‍රාණය පැවීමයි. පණ ටික නැවතිලා තියෙන නිසයි. මේ දුක් ඔක්කොම අපිට අත් දකින්නට සිදුවෙලා තියෙන්නේ. මේ පණ ටික නැත්නම් මේ ලෝකයේ කිසිම සංසංකාර ධර්මයක් අපට දුක් ලබා දෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට අපි ආශා කරනවා ජීවත් වන්නට. මරණයට බයයි. පණ ටික තියෙනවට ආසයි. ොමකටද මේ අපි ආසා කරන්නේ. දුක්ඛ සමුදය සත්‍යයට. තේරෙනවද ඒ කතාව. ඇයි දුක්ඛ සමුදය සත්‍යයට මෙලෙසින් ආශා කරන්නේ. නොදත්කම නිසයිි. ඒ නොදත්කම කියන්නේ අවිද්‍යාව.

කතමාව භික්ඛවේ අවිජ්ජා මොකක්ද මහණෙනි අවිද්‍යාව, යං ඛො භික්ඛවේ දුක්ඛ අඥානං, දුක්ඛ සමුදය අඤාණං, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාය අඤාණං, චතුරාර්ය සත්‍ය නොදැකීමයි. අවිද්‍යාව කියන්නේ. නොදත්කම කියන්නේ. එතකොට අපි මෙතෙක් කල් ඇළුම් කළා. ජීවත් වන්නට ආශා කළා. පණ ටික නැති වෙනවාට බිය වුණා. අපේ නොදත්කම නිසා. එතකොට මේ ප‍්‍රශ්නය කියන එක පණ ටික පැවැත්ම කියන එක පවතින එකද හොඳ? නැතිවෙන එකද හොඳ? නැතිවෙනව නම් දුක නැහැ. පවත්තං දුක්ඛං අපවත්තං සුඛං පැවතීම දුකක් නොපැවැත්ම සැපයක්. බුද්ධ වචනයක්. එතකොට අපේ මේ නොදත්කම නිසා අපි මේ ප‍්‍රාණයට ඇළුම් කළා. අදත් ඇළුම් කරනවා. දැන් තරමක් දුරට හෝ ඒ මෝඩකම තේරෙන්නට  ඕනෑ. ඒකට අපි අවිද්‍යාව කියලා බුද්ධ වචනයෙන් කියනවා. දැන් ඔන්න අපේ ඇගේ පණ ටික තියෙන නිසා. මේ ඔක්කොම දුක් විඳිනවා. එතකොට පණ ටික දුක්ඛ සමුදය සත්‍යයයි. දැන් අපි කලින් කියපු එකට වඩා මේක සියුම්.

එතකොට ඇයි අපි මේ පණ ටික. ප‍්‍රාණය පවතින්නේ. දුක්ඛ සමුදය සත්‍ය පවතින්නේ ඇයි? ක‍්‍රියාත්මක වන්නේ ඇයි? මං අහන්නේ සරල ප‍්‍රශ්නයක්. දැන් අපි ඇහැ සහ සිතේ පැවැත්ම ඒකාන්ත වශයෙන්ම දුකක්. පණ ටික තියෙන නිසා දුක් විඳිනවා. ඇයි මේ පණ ටික පවතින්නේ කියලයි මං අහන්නේ. මේ දුක්ඛ සමුදය සත්‍ය සොයා යන ගමනේ අපි ඉපදුණු කර්ම ශක්තිය තියෙන නිසා. මේ ලෝකයේ අපි ඉපදුනා මනුෂ්‍යයෙක් වශයෙන්. අපි ඉපදුණු කර්මයට කියන්නේ ප‍්‍රතිසන්ධිජනක කර්මය කියලා. ඒ ප‍්‍රතිසන්ධිජනක කර්ම විපාක ශක්තිය පවකින නිසා අපේ ප‍්‍රාණය පවතිනවා.

දැන් එතකොට කලින් අපි ඇහැ සහ සිත දෙකම දුක්ඛ සත්‍යය, පණ දුක්ඛ සමුදය සත්‍යය, කියලා හේතුඵල දෙකක් වශයෙන් දැක්කේ හරිද? මේ ප‍්‍රාණය පවතින්නේ කුමක් නිසාද? අතීතයේ කරන ලද ප‍්‍රතිසන්ධිජනක කර්ම විපාක ශක්තිය නැති හේතුව නිසා. එතකොට කලින් හේතුවම වූ ප‍්‍රාණය එලෙසම බවට පත් වුණා. දැන් යනවා නියම හේතුවට. මොකක්ද? ප‍්‍රතිසන්ධිජනක කර්ම විපාක ශක්තියට දුක ලබා දීමේ හේතුව ඇසීිමේ ප‍්‍රතිසන්ධිජනක කර්ම විපාක ශක්තියයි දුක ලබා දීමේ හේතුව. ඇයි මේ ප‍්‍රතිසන්ධිජනක කර්ම ශක්තියක් අපට ගෙන දුන්නේ. මේ සමීපතම පිළිතුර මම විමසන්නේ, අපි මෙලොව කර්ම විිපාක ශක්තියක් ලිබෙන නිසා තමයි ප‍්‍රාණය තියෙන්නේ. ප‍්‍රාණය තියෙන නිසා තමයි දුක පවතින්නේ. එතකොට ප‍්‍රතිසන්ධි ජනකකර්ම විපාක ශක්තිය දුක්ඛ සමුදය සත්‍යයයි. එක දැන් තේරෙනවා. එතකොට ප‍්‍රතිසන්ධිිජනක කර්ම විපාක ශක්තිය පවතින්නේ ඇයි? ප‍්‍රතිසන්ධිජනක කර්මයක් තිබුණ නිසා කර්මයක් නැත්නම් විපාකයක් තියෙනවද? ඒක තමයි දහම. ආසන්නතම පිළිතුුර වේ. මේ ලෝකයේ අපි මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදෙන්නට යෙදේ. ආත්මයේ මැරෙන විට කුසල කර්මයක් සිහිපත්් වුණා. ඒ කුසල කර්මයේ විපාකයක් වශයෙන් අප මෙලෙස ඉපදුනා. මෙලෙස දුක් අපි අනුභව කරනවා. එතකොට කලින් දැක්ක ප‍්‍රතිසන්ධිජනක කර්ම විපාක හේතුව ඵලයක් බවට පත් වෙනවා. ඒ කලින් කරන කුසල අකුසල ධර්මය හේතුවක් බවට පත් වුණා. එතකොට දුක ලබා දෙන හේතුව කොතනටද ගියේ දැන්. අපේ දුක්ඛ සමුදය සත්‍ය කර්ම සංස්කාර වලටයි ගියේ.

ඇයි අපි මේ කර්ම සංස්කාර රැුස් කළේ. රැුස් කරන්නේ. දුක්ඛ සමුදය කියලා දන්නේ නැතිකම. දුක්ඛ සමුදයේ අඤාණ ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. අපි මේකර්ම රැුස්කරලා මේ ජීවිතයේ ඇති කොච්චර දුක් වින්දද? මේ දුක් විඳින බව අපි දැනගෙන හිටිය නම් එදා මැරෙන මොහොතේ, මේ තරම් විශාල දුකක් මේ කර්මය නිසා අපිට අත්දකින්නට වෙනවාය කියලා ඒ ක්ර්මයට ඇළුම් කරනවද? ඒ කර්මය කරන් කැමති වෙනවාද? එහෙම නම් ඇයි ඒ කර්මය කරන්න කැමති වුණේ. කර්මය කළේ, කර්මයට ආශා කළේ, මේ දුක දන්නෙත් නෑ, දුක්ඛ සමුදය දන්නෙත් නෑ, ඒකට කියනවා අපි අවිද්‍යාව කියලා.

එතකොට දුක්ඛ සමුදය සත්‍යය වන්නේ එතන අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි අපි භවයේ රැුඳී සිටීමේ ආශාවෙන් යුතුව කටයුතු කරන්නේ. අපි මරණයට බයයි. ජීවිතයට ආසයි. පණ ටික තියෙනවට ආසයි. මොකද ඒ ? දුක්ඛ සමුදය කියලා දන්නෙ නැති නිසා. භවයේ රැුඳී සිටීමේ ආශාව දුක්්්ඛ සමුදය සත්‍ය වෙනවා. ඒ ආශාවේ හේතුවත් අවිද්‍යාව වෙනවා. එතකොට අවිද්‍යාව තමයි නියම දුක්ඛ සමුදය සත්‍යය. අවිද්‍යාව නැත්නම් නැවත නැවත ඉපදී දුකක් ලබා දෙන්නේ නෑ, එහෙම නම් සබ්බේ සංඛරා දුක්ඛා කියන වචනය ප‍්‍රායෝගික වශයෙන් බලන විට කොයිතරම් සත්‍යයද? සබ්බේ සංඛාරා දුක්ඛා සියලූම සංස්කාරයෝ දුකයි. ඒක ප‍්‍රායෝගික වශයෙන් බලන විට කොයිතරම් සත්‍යයද? මා අසන ප‍්‍රශ්නය එයයි. සියලූම සංස්කාර දුකක් තමයි. නමුත් දුකක් වෙන්ට නම් අපේ හිතේ පැවැත්ම කයේ පැවැත්ම තියෙන්නට  ඕනෑ. කයේ සිතේ පැවැත්මට  අර අවිද්‍යාව පාදක වූ කර්ම සංස්කාර තිබෙන්නට  ඕනෑ. ඒකෙන් ආපු ප‍්‍රතිවිපාක ශක්තීන් තියෙන්නට  ඕනෑ, එම නිසා මේ කිසිම සංස්කාරයක් අපට දුකක් වන්නේ නෑ, දුක්ඛ සමුදය වන්නේත් නෑ, මා ඉස්සෙල්ලා කිව්වා සියලූම සංස්කාර දුකයි, දුක්ඛ සමුදයයි කියාපු එකට ප‍්‍රතිවිරුද්ධ අදහසක්. මේ හාමුදුරුවෝ ඉස්සෙල්ලා ඒක බණක්. දැන් වෙන බණක් කියනවද? කියලා මේ අය හිතයි. නෑ ඇත්ත ඒකයි. ඉස්සෙල්ලා දකිනකොට එහෙමයි. දැන් දකිනකොට මෙහමෙයි. එතකොට කිසිම සංස්කාර ධර්මයක් අපිට දුකක් වන්නේ නෑ. දුක්ඛ සමුදයක් වන්නේත් නෑ, දුක්ඛ හා දුක්ඛ සමුදයක් වන්නේ අපේ ඇහේ සහ සිතේ පැවැත්ම පමණයි. වෙන මොකක්වත් නෑ, ඉතින් මේකට ඇයි අපි ආශා කරන්නේ. ඔව් වෙන මොකවත් නිසා නෙමෙයි නොදන්නා කම නිසා. ආශා නොකළ යුතු බව නොදන්නෙත් නොදත්කම නිසා. අපි බාහිර සංස්කාර වලට ආශා කළේ අපි. ඒවා දුක්ඛ සමුදය සත්‍ය බව නොදත්කම නිසා. ඒක නිසා අපේ අවිද්‍යාව අපට තරමක් දුරට හෝ තේරෙන්නට  ඕනෑ, දැන් තේරෙනවද දුක්ඛ සත්‍ය හා සමුදය සත්‍ය කියන එක. කලින්ට වඩා හොඳ අවබෝධයක් , ඇතිවන්නට  ඕනෑ, පොතේ තියෙන කාරණාව තෙරුම්ගැනීම නොවෙයි මෙහිදී අවශ්‍ය වන්නේ, තමාටම අවබෝ්්ධ වීම.

එතකොට එහෙනම් ඔන්න දුක්ඛ සත්‍යයත් දන්නවා. දුක්ඛ සමුදය සත්‍යයත් දන්නවා. හොඳයි මේ දුක්ඛ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය ගැන කෙනෙක් දැන්මක් ඇතිකර ගන්නවා නම් ඒ දැනුම මොකක්ද? ඒක තමයි ප‍්‍රඥාව. ප‍්‍රඥාවට කියන තව එක වචනයක් තමයි සම්මා දිට්ඨි කියන එකත්. ප‍්‍රඥාව මොන සත්‍යයටද අයත් වන්නේ ? මාර්ග සත්‍යයට. දැන් දුක්ඛ සත්‍ය කොහෙද තියෙන්නේ ?  සමුදය සත්‍ය කොහෙද තියෙන්නේ, මාර්ග සත්‍ය කොහෙද තියෙන්නේ, දැන් බලන්න හාමුදුරුවෝ මෙහෙම පාඨයක් ප‍්‍රකාශ කරනවා. .. මහණෙනි, බඹයක් පමණ වූ මේ ශරීර කූඩුව තුළ මම දුක්ඛ සත්‍යයක් පනවනවාය. දුක්ඛ සමුදය සත්‍යයක් පනවනවාය, මාර්ග සත්‍යයක් පනවනවාය,

දුක්ඛ නිරෝධ සත්‍යයක් පනවනනවාය. එතකොට දැන් තේරෙනවාද මේ පංචස්කන්ධ ලෝකය තුළම මෙ සත්‍ය තුන ක‍්‍රියාත්මක වන බව. දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයි, මාර්ග සත්‍යයි. අපි දැන් මේ දකින විදියට මාර්ග සත්‍ය සිහිපත් වුණා. ඒකය ප‍්‍රතිවිරුද්ධ විදියට ක‍්‍රියාත්මක කරන විට ඇළුම් කරනවා., ආශා කරනවා, බැඳෙනවා, ද්වේශ ඇති කරනවා, රාග ඇති කරනවා, ඔය විදියට කුටයතු කරන විට ඒවා ඔක්කොම දුක්ඛ සමුදය සත්‍යය බවට පත් වෙනනවා. එතකොට දුක්ඛ සත්‍යය, සුමදය සත්‍යය, මාර්ග සත්‍යය මේ ඇහැ සහ සිත හැර අන් කිසිවක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඒක. හොඳට තේරුණද? දැන් එහෙමනම් අපි කිව්වා නිවන් අවබෝධ කිරිමට ආශ‍්‍රමයන් ක්ෂය කිරීමට පඤ්චඋපාදානස්ඛන්ඨෙසු උදයන්ඛයානුපස්සි  විහරති කියලා. පංච උපාදානස්ඛන්ධයේ ඇතිවීම නැතිවීම දැක දැක වාසය කරන්නය කියලා ඒක බල බලා වාසය කිරීමේදී නිවන් අවබෝධ කරන්නට නම් චතුරාර්ය පිළිබඳ ප‍්‍රායෝගික පැත්තට බරවූ දැනුමක් තිබෙන්නට  ඕනෑ, පොතේ දැනුම නෙමෙයි. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා,  ඕක ඉතින් කඩපාඩමින් ගිරවුන්ටත් කියන්නට හැකින්.

එහෙම නෙවෙයි ප‍්‍රායෝගික වශයෙන් අපිට නිවන් අවබෝධ වන ආකාරයේ දුක්ඛ, සමුදය, මාර්ග කියන සත්‍යයන් පිළිබඳ අවබෝධයත් තියෙන්නට ඔනෑ, ඒ අයට තරමක් දුරට හෝ එය ඇති වෙන්නට  ඕනෑ. එම නිසා අපි දැන් නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීම සඳහා මේ පංච උපාදානස්ඛන්ධයේ ඇතිවීම නැති වීමයි බලන්නේ. දැන් භාවනාව මං කියන විදියට කරන්න  ඕනෑ. දැන් තමන්ගේ හිසේ සිට පාදය දක්වා ඇහැ මහතුපිටින් රෙදි කෑල්ලක් අතුල්ලා ගෙන යනවා වගේ හිත ගෙනියන්න  ඕනෑ, ඉස්සරහ පැත්තෙනුයි. පිටිපස්ස පැත්තෙනුයි. මේක තමයි මගේ රූප ස්කන්ධය කියන අවබෝධය ඇති කර ගන්න. රූපස්කන්ධය කියන්නෙ මෙන්න මේකටයි. දැන් බලන්න. මේ රූපස්කන්ධය දෙස බලන කොට අපට දැනීමක් ඇතිවෙනවා. යම්කිසි දැනීමක්, සිතින් අපි බලන්නෙ යම්කිසි දැනීමක් තියෙනවා.

මේ දැනීම දෙසට අවධානය යොමු කරන්න. මේ දැනීමට තමයි විඤ්ඤාණස්කන්ධ කියලා අපි කථා කරන්නේ. මේක තමයි අපේ විඤ්ඤාණස්කන්ධය. මෙතන තමයි විඤ්ඤාණස්කන්ධය  කියලා දැන් අවබෝධ වන්නට  ඕනෑ. විඤ්ඤාණය ගැන අවබෝධයක් ඇති වුණානෙ. දැන් අපි දෙස බලමු. ශරීරයේ කොතනක හරි වේදනාවක් හරි දැනෙනවා නම් ඒ වේදනා දෙසට අවධානය යොමුකරලා ඒ වේදනා දැන් මෙනෙහි කරන්න. වේදනාවක් වේදනාවක් කියලා සැප වේදනාවක් දුක් වේදනාවක්, මැදහත් වේදනාවත්  ඕනෑම එකක්. නේන මගේ වේදනා ස්කන්ධය, මේ පංචස්කනක්ධ ලෝකය තුළ තිබෙන වේදනා ස්කන්ධ මෙන්න මේකයි කියලා දැන් හැඟීමක් ඇති විය යුතුයි.

ඒ අවබෝධය තිියෙනවා නම් රූපය වෙනම ධර්මයක්ය, වේදනාව තවත් ධර්මයක්ය, මේ ධර්ම තුනක්ය කියල, ඒ තුන තුන් පැත්තකට සිතින්ම ඈත් කරමින් සිතින් බලන්න. රූපය වෙනම ධර්මයක්. මේ මගේ රූපස්කන්ධය වෙනම ධර්මයක්, මේ මගේ වේදනාව, වේදනා ස්කන්ධය තවත් එකක්. මේ මගේ සිත විඤ්ඤාණස්කන්ධය තවත් එකක්. මේ විදියට කීපවරක් බලලා ඒ තුන වෙන් කරන්න. සිතින් ඈතට අයින් කරන්න. මෙහිදී සමහර විට ශුන්‍යතාවයකට සිත පත් කරමි.

දැන් මේක තමයි මගේ රූපස්කන්ධය කියා සිතමින් රූපස්කන්ධය දෙස බලන්න. මෙන්න මගේ රූප ස්කන්ධය. ඇහැ දෙස බලනවා. මේ තමයි මගේ රූපස්කන්ධය. අර මේ තමයි මගේ රූපස්කන්ධය කියාපු සිතුවිලි ටික තමයි සංස්කාර ස්කන්ධය. මේ තමයි මගේ රූපස්කන්ධය. කියලා අපි හිතුවනේ. ඒ සිතුවිලි ටික තමයි සංස්කාර ස්කන්ධය. මේ තමයි මගේ රූපස්කන්ධය. කියලා අපි හිතුවනෙ. ඒ සිතුවිලි ටික තමයි සංස්කාර ස්කන්ධය. මේ තමයි මගේ වේදනා ස්කන්ධය. මේ තමයි මගේ වේදනා ස්කන්ධ කියලා අපි හිතුවා. ඒ සිතුවිලි ටික තමයි සංස්කාර ස්කන්ධය. මේකත් අවබෝධ වෙනව නම් දැන් විඤ්ඤාණස්කන්ධය දෙස බලමු. මේ තමයි මගේ විඤ්ඤාණස්කන්ධය. මේ තමයි මගේ දැනීම. විඤ්ඤාණස්කන්ධයි කියලා හිතපු සිතිවිලි ටික තමයි සංස්කාර ස්කන්ධය. දැන් බලමු. සංඥා ස්කන්ධය. මේ තමයි රූපස්කන්ධය කියලා හඳුනා ගත්තනෙ රූපය. ඒ හඳුනා ගැනීම තමයි සංඥා ස්කන්ධය. රූපය කියා හඳුනා ගත්ත එක තමයි සංඥා ස්කන්ධය. මේ තමයි මගේ විඤ්ඤාණය. එය හඳුනාගත් ධර්මය තමයි සංඤ්ඤා ස්කන්ධය. දැන් හොඳට බලන්න. මේ කොටස් පහ. ඒ කියනන්නේ රූපස්කන්ධය මෙහෙම තියෙනවා. වේදනා ස්කන්ධය මේ විදිහට තියෙනවා. විඥ්ඥාණස්කන්ධයත් මෙලෙසින්ම පවතිනවා. සංස්කාර ස්කන්ධය මෙන්න මේකයි. ඒ හඳුනාගත් සංඥා ස්කන්ධය ඒකයි. මෙන්න මේ ආකාරයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් පැහැදිළිව තමාට වෙන් වශයෙන් හඳුනාගන්න පුළුවන්ද කියලා බලන්න.

දැන් අස් අරින්න. දැන් මේ අයට පංචස්කන්ධය හඳුනාගන්න පුළුවන්ද? තරමක් දුරට හෝ කලින්ට වඩා හඳුනාගන්න පුළුවන් කමක් ලැබුණාද? එක්කෙනෙක් හරි එහෙම ඔව් කිවිව නම් මට ඒක සතුටට කාරණාවක්. මේ පොත් වලින් පංචස්කන්ධය කියන එක නොවෙයි, අපි මේ කරන්නේ. ප‍්‍රායෝගික වශයෙන් අත් දැකලා හඳුනා ගැනීමක් ඒකයි, අපට අවශ්‍ය වන්නේ. දැන් අපේ මේ පංචස්කන්ධය තමයි සංඛිත්තේන පඤ්චුපාදක්ඛන්ධා දුක්ඛා දුකක් කියන්නෙ මෙන්න මේකයි. දුක්ඛ සත්‍යය. අපි දුක්ඛ සත්‍යයත් දැන් දන්නවා. සමුදය සත්‍යයත් දැන් දන්නව. මාර්ග සත්‍යයත් දන්නව. දැන් නිරෝධ සත්‍ය හා කිරීමටයි මේ භවනා ක‍්‍රමය අනුගමනය කළ යුත්තේ.

පහසුවෙන් වාඩිවෙලා පසුව තමන්ගේ ඇහැ දෙස සිතින් බලන්න. සිතින් බලලා මේක තමයි දුක්ඛ සත්‍ය, කියලා සිහිපත් කරනවා. ශරීරයේ දැනෙන කොටස්වලට. ඒ කියන්නේ දැන් අපි වාඩිවෙලා සිටිනවා. අපේ පිට පැත්ත අපිට තේරෙන්නේ නෑ, ඒ නොතේරෙන කොටස තමයි දුක්ඛ සමුදය සත්‍ය. මේක ටිකක් ප‍්‍රායෝගික බණක්. අහගෙන ඉඳලා ඒ විදියට කරලා බලන්න. ප‍්‍රතිඵල ගන්න පුළුවන් හරියට කළොත්.

ඔන්න ඇහැ දෙස බලනවා සිතින් වාඩි වෙළා. එතකොට පේනවා තමන්ගේ සිතට ඒ ඇහැ ඒ ඇහැ තමයි ඒකාන්ත දුක්ඛ සත්‍ය. ඇහේ සමහර කොටස් කෙරෙහි අපේ දැනීමක් නැහැ. උදාහරණයක් වශයෙන් පිටිපස්ස කියමු. පිටිපස්ස තියෙනවාද නැද්ද කියලා අපට දැනීමක් නෑ. පිටපැත්ත තියෙනවාද නැද්ද කියලා. ඒ ගැන දැනීමක් ඇතිවෙලා නෑ. ඒ දැනීමක් ඇති වෙළා නැති කොටස දුක්ඛ සමුදය සත්‍ය වෙනවා. ඒ තුළින් දුකක් කොයි වෙලාවක හරි ඇති කර දෙනවා. මෙන්නප මේ විදිහට මේ ශරීරය දෙසම බලනවා. මේක තමයි දුක්ඛ සත්‍ය. යම්කිසි දැනීමක් ඇතිවෙන තැන තමයි දුක්ඛ සත්‍ය පවතින්නෙ. එතකොට දැනීමක් වැනි කොටසක් තියෙනවා නම් ඒ දෙසම බලන්න. ඔන්න එතන දුක්ඛ සමුදය සත්‍ය. තකොට මේ දැනීමක් ඇති නොවන කොටස කවරාකාර හෝ දැනීමක් ඇති වන විටම දකින්න මෙන්න දුක පහළ වුණා මෙතන. දුක්ඛ සත්‍ය ඇති වුනා මෙතන කියලා. තේරුණාද? කියපු කාරණාව. ආයිත් සැරයක් කියන්නම්කෝ පැහැදිලි වෙන්න. වාඩිවෙලා ශරීරය දෙස බලන්න සිතින්. මේක තමයි දුක්ඛ සත්‍ය කියලා. එතකොට යම්කිසි දැනීමක් ශරීරයේ තියෙනවා නම් ඒ කොටසයි අපට දුකක් බවට පත්වෙලා දැන් තියෙන්නේ. ඒකයි දුක්ඛ සත්‍ය වෙලා තියෙන්නේ. එතකොට අපට නොතේරෙන ශරීර කොටස් තියෙනවානේ්. තියෙනවාද කියලා දන්නෙත් නෑ, ඒ තියෙනවාද දන්නෙත් නැති කොටස් තමයි පස්සෙ දුකක් බවට පත්වෙන දුක්ඛ සමුදය වන්නේ තේරුණාද ඒ කථාව?

එහෙමනම් මේක තමයි දුක්ඛ සත්‍ය මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය. මේක තමයි මේක දුක්ඛ සමුදය සත්‍ය කියලා බල බලා සිටිනවා. බල බලා සිටින විට දුක්ඛ සමුදය සත්‍ය ලෙස කී ශරීරයේ  නොතේරෙන කොටස් තුළින් යම්කිසි දැනීමක් පහළ වෙන්නට පටන් ගත්තොත් ඒ කියන්නේ හැඟීමක් දැනීමක් වේදනාවක් මේ තමයි දුක්ඛ සත්‍යය. මෙන්න මෙතන දුකක් ඇතිවුණාය කියලා දකින්න. අපි මේ කරන්නට යන්නේ දුක්ඛ සමුදය සත්‍ය තුළින් දුක්ඛ සත්‍ය මතුකරවලා. උපදවලා දෙනවයි කියලා. ප‍්‍රත්‍ය කළ ලෙස අවබෝධ කරවීමට හරිද? ඒ විදියට කටයුතු කරගෙන යන්න. මෙන්න දුක්ඛ සත්‍ය. මෙන්න දුක්ඛ සුමදය සත්‍ය. මෙන්න දුකඛ සමුදය සත්‍ය තුළින් දුක්ක සත්‍ය ඇතිවුණාය කියලා හොඳට අහ ගන්න.

මෙහෙම කරලා කරලා ඊට පස්සේ හොඳට තමන්ට දුක්ඛ සත්‍යයත්, සමුදය සත්‍යයත්, තේරුණාට පසුසේ මේ දුක්ඛ සත්‍ය නිතරම පවතිනවාද? එහෙම නැත්නම් වෙනස් වෙවී යනවද? කියලා බලන්න, අපි හිතමු දැන් තේරෙනවා. ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා. අපි දකින්නේ. ඊට පස්සෙ අර දුක්ඛ සමුදය වශයෙන් දැකපු කොටසට නැවත දුකක් පහළ වෙනවා. දුකක්, දුකක් කියලා එතන බලනවා. එතකොට සමහර විට අර කලින් දැකපු තැන නොපෙනී යනවා. හිතට නොවැටහී යනවා. එතකොට ඒක අනිත්‍යයට ගිහිල්ලා. අන්න එතකොට අපි බලන්නේ මේ පංචඋපාදානක්ඛන්ධ උදයාබ්බයානු පස්සි විහරති. පංච උපාදානස්ඛන්ධයේ ඇතිවීම නැතිවීම දකින එක. මෙතන ඇතිවෙච්ච එක නැතිවුණා. එතකොට දුක්ඛ සත්‍ය නැතිවෙනවා. දුක්ඛ සමුදය සත්‍යයත් නැතිවෙනවා. අන්න ඒක තමයි දැන් අපි දකින්නට යන්නේ. දැන් පැහැදිලිද කාටත්?

අන්න ඒ විදිහට කරන්න. ඒ විදියට දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදය සත්‍යයත් ඇති වෙනවා. නැතිවෙනවා. ඉස්සෙල්ලා කරන්නෙ දුක්ඛ සමුදය සත්‍යයයි. දුක්ඛ සත්‍යයයි වෙන් වෙන් වශයෙන් බල බලා සිටීම. සමුදය සත්‍ය තුළින් දුකක් ඇති වෙනවා නම් එතන දුකක් ඇති වෙනවාය කියල දකිනවා. එහෙම දකිමින් ඉන්න විට නැවත දුක්ඛ සත්‍යයේ හෝ සමුදය සත්‍යයේ නැතිවීම දකිනවා. ඒ දෙවැනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව. අනේ මේ දුක්ඛ සත්‍යයත් නැත්නම් සමුදය සත්‍යයත් නැත්නම් කොච්චර හොඳද? ඒ දුක්ක සත්‍යයයි සමුදය සත්‍යයි දකින එක තමයි මාර්ග සත්‍ය කියන්නේ? එතකොට මේ අනිත්‍යයට දුක්ඛ සත්‍යයත් නැත්නම් අනිත්‍යයට යන සමුදය සත්‍යයත් නැත්නම් කොපමණ හොඳද කියලා යටි සිතින් සිතන්න. එතනදී සමහරවිට සියළුම ධර්ම තුනී වී යනවා. නිරෝධ සත්‍ය සිතට අවබෝධ වෙනවා. එසේම ඒවා කියලා ආශිර්වාද කරනවා.

දංකන්දේ ධම්මරතන හිමි.

Published in: on අප්‍රේල් 8, 2010 at 9:42 ප.ව.  ප්‍රතිචාරයක් ලබාදෙන්න  
Tags: , , ,
Follow

Get every new post delivered to your Inbox.